Sunday, November 13, 2011

මල් මාල




නිමිත්ත- සම්මානලාභී තරුණ කවියෙකුගේ ගෙල පලඳවන්නට සැරසෙන කවි මල් මාලය සඳහා කවියක් නොදුන්නේ ඇයිදැයි තවත් කවියෙක් විමසයි.

පිපෙන්නේ නැහැ මල්
එහෙම හිතු හිතු පලියට....
ඊටත්
ඇඟිල්ලෙන් පෙති දිග හැර
ඉඳිකටු තුඩින් හිල් කර
අමුණන විටදි නූලට
රිදෙයිනේ පොඩි මලට…


ඉසුරු චාමර සෝමවීර

උපන් දිනය.


උපන් දිනය.

"ස්වර්ණා මිසී කිව්වා අද මහත්තයගෙ උපන් දිනේ කියලා ඉතින් ඇයි මේ තාම කන්තොරුවෙ ? අද ගෙදර පාටියක් එහෙම නැතෑ ? " අජිත් ඇහුවම මට හිනා ගියා. “අපිට මොන පාටිද අජිත් ?”
"ඇත්තටම දැන් මහත්තයගෙ වයස කීයද... තිස් පහක්, තිස් හතක් විතර ? ” මට ආයෙමත් හිනා ගියා.
" මට තිස් පහයි මීට අවුරුදු දහයකට කලින් නම් "
"අපෝ මහත්තයට හතලිහකට වඩා නං පේන්නෙ නැහැ, කොහොම හරි, හැපී බර්ත් ඩේ කියලා අපිත් කියනවා ඔන්න " අජිත් කිව්වෙ හිනා වෙලා.
අජිත් අපේ ඔෆිස් එකට ලඟදි ආපු සිකුරුටි ගාඩ්. වයස විසි දෙකයි. තාම ඇවිත් මාසයයි වුණාට අපි හැමෝමත් එක්ක හොඳට යාලුයි. මිනිහා ටිකක් කලබල කාරයෙක් වුනත් පිලිවෙලයි. හොඳයි. අජිත් ගාව ඉන්නකොට මට මගෙ වයස මට දැනෙනව. මිනිහගෙ ඇඟෙන් තරුණකම බේරෙනවා.සමහර වෙලාවට මට මගෙ ඇහැ මිනිහා පැත්තට යනවා වැඩිදෝ කියලත් හිතෙනවා. ඉස්සර මගෙ උපන් දිනෙ එනකං මං ආසාවෙන් බලං හිටියත්, තව දුරටත් ඒක ඒ විදියටම සිද්දවෙන්නෙ නැහැ. ඒක හරියට අවුරුදු හතලිස් හතරක් තිස්සෙ මම හැතැම්ම කණු හතලිස් හතරක් පහු කලා වගේ. ඒක ආයෙමත් හැරිලා යන්න බැරි වන් වේ පාරක්. ඈතින් පේන්නෙත්පාලු හිස් කමක්.
"මහත්තයා හැමදාම පරක්කු වෙලානෙ කන්තෝරුවෙන් යන්නෙ, ඉතින් අද වගේ දවසකවත් ඇයි ටිකක් කලින් නොයන්නෙ ? "
ඒ වගේ ප්රනශ්නෙකට පොඩියට හිනා වෙනවා ඇර මම වෙන මොනවා කරන්නද? ඔව් මම හැමදාම පරක්කු වෙලා තමා කන්තෝරුවෙන් යන්නෙ . අනිත් අයට වඩා පැය ගානක් මම වැඩ කරනවා. ඒකෙන් කියන්නෙ නෑ මං මේ කම්පියුටර්, කඩදාසි මිටිත් එක්ක වැඩ කරන්න හුගාක් කැමතියි කියලා. වේලාසනින් මං මගෙ පාලු කාමරේට ගිහින් මොනව කරන්නද? ලා අන්දකාරෙත් එක්ක මම එලියට බහිනකොට අජිත් දොර ගාවට වෙලා බලං හිටියා. ඔරලොසුවෙ කටු කිව්වෙ වෙලාව හතයි කියලා. මට හතයි හතලිස් තුනේ කෝච්චිය අල්ලගන්න පුලුවන්. බස් එකේ මට කොච්චියට වඩා කලින් ගෙදර ගියෑකි. ඒත් මොකටද ?
ඉස්ටේසමේ පඩි නගිද්දි මට මහන්සියක් දැනුනා. ඒ මහන්සිය එන්නෙ ඇතුලෙන්. ටිකට් කවුන්ටරේ හිටිය මිනිහගෙ මූණෙ තිබුනෙත් මුලු දුම්රිය දෙපාර්තුමෙන්තුවෙම බර මිනිහට දීල වගේ පෙනුමක්. ජීවිත කාලයක් පුරා ටිකට් විකුණමින් හිටපු හින්දදෝ මිනිහා මං දිහා බැලුවෙ හරියට මං මිනිහගෙ ඇඟේ කොටසක් ඉල්ලුවා වගේ බැල්මකින්. මම ටිකට් එක අරන් ෆ්ලැට්ෆෝම් එකට ආවා. මුලු දවස තිස්සෙ වැස්ස හින්ද ලා සීතල ගතියකුයි තිබුනෙ. ලයිට් පත්තු උනේ මූසල පාන්ඩු පාටකට. හෝදන් යනවට දාපු ගල් කුට්ටි වල මූදු රෑල්ල හැප්පෙන් මහා ගෝසාව ඇරෙන්න තිබුනෙ නිස්සද්ද කමක්. හුළඟෙ ලුණු රහ මට දැනුනා.
වටේ පිටේ මිනිස්සු ටික දෙනයි හිටියෙ. සමහරු හිටගෙන. සමහරු ඉඳගෙන. මමත් බංකුවක වාඩි වෙලා කෝච්චිය එනකං ඇස් ලොකු කරං බලාගෙන ඉන්න මිනිස්සු දිහා බැලුවා. ඒ හැම මූණකම වගේ එදා දවසෙ මහන්සිය, ගෙදර යාමේ හදිස්සිය තැවරිලා. ඉස්කෝලෙ ඇඳුමෙන් හිටපු කොල්ලො දෙන්නෙක්ගෙ මූණු වලින් මහන්සිය වැක්කෙරෙනවා. එවුං හවස පංති ඇරිලද කොහෙද. වෙනස් වෙනස් මූණු වල වෙනස් වෙනස් විදි වලට හීන් දුකක් , මහන්සියක් ගෑවිලා. ඒත් තමන්ගෙ පොඩි එවුන් දෙන්න එක්ක වාඩි වෙලා හිටපු මනුස්සයගෙ මූණෙ මහන්සිය අමතක කරපු ආඩම්බර හිනාවක් පිපිල තිබුනා. අවුරුදු දොළහක් දහතුනක් විතර පේන ලොකු කොලුවා එදා සෙල්ලම් කරපු ක්රිරකට් මැච් එකක තොරතුරු තොරතෝංචියක් නැතුව කියවමින් හිටියා. කොල්ලට තිබුනෙ තාත්තගෙ මූණුවර. ඒ තාත්තගෙ හිනාව මට නෑ. මේ හැම මූණක්ම ගෙදර ගියාම වෙනස්වෙයි. අම්මලා තාත්තලා, ගෑනු, දරුවො නිසා එයාලගෙ දවසෙ මහන්සිය නැතිවෙනවා ඇති. මගෙ පාලු ගෙදර විතරයි නේද මං එනකං බලාගෙන ඉන්නෙ කියලා හිතෙනකොට දැනෙනෙ හැගීම .... ඒක පතුලක් නැති එකක්..
තුනී වේගෙන යන කොන්ඩයක් තියන,D I බෑග් එකක් ගත්තු,රජයේ සේවකයෙක් කියන එක මුලු සරුවාන්ගෙන්ම පේන, මගෙ වයසෙම වගෙ මනුස්සයෙක් ෆැලට්ෆෝම් එකේ අන්දකාර පැත්තෙ ඉඳලා ආවා. මිනිහා මගෙ වයසෙම වගේ වුනත් මට වයසට වඩා තරුණ පෙනුමක් තියනවා කියන හැගීම සතුටක් . මිනිහා ෆැලැට්ෆෝම් එක දිගේ ඇවිදන් එන ගමන් හැම කෙනාම දිහා හුඟක් උනන්දුවෙන් බැලුවෙ කාවහරි හොයනවා වගේ. මම ඒ බැල්ම අඳුනනවා.මං දන්නවා එයා මොනවද හොයන්නෙ කියලා. එයා හොයපු කෙනා මුණගැහුනෙ නැතුවම මිනිහා සෙනඟ අතරින් ෆැලැට්ෆෝම් එකේ අනිත් පැත්තෙ අන්දකාරෙ අතුරුදන් වුනා. මං දන්නවා ඒ අන්දකාරෙ ගැන, ඒ අන්දකාරෙ ඇතුලෙ වෙන දේවල් ගැන. ෆැලැට්ෆෝම් එකේ කෙලවර තියන අන්දකාරෙට මමත් ගිහින් තියනවා, ආලෝකෙ තියන පැත්තට වැඩිය එතන වෙන්නෙ වෙනස් දේවල්, ඒ අන්දකාරෙ එක විදියකට ටිකක් ආරක්ෂාකාරියි.
මම බංකුවෙ ටිකක් පහසු ඉරියව්වකට මාරු වෙලා මුලු අවදානෙම දීලා සිල්පර කොටන් ගනින්න පටන් ගත්තා. ෆ්ලැට් ෆෝම් එකේ කෙරවලෙන් අලුතෙන් මතුවෙච්ච මිනිහ දකිනකන් විතරයි මගෙ අවදානෙ ඒ වැඩේට දෙන්න පුලුවන් වුනේ. කලින් ගිය ආණ්ඩුවෙ රස්සාව කරන පෙනුමක් තියන කෙනාට වඩා මෙයා හාත්පසින්ම වෙනස්. තරුණයි. කෙට්ටුයි.පහයි හතක්, පහයි අටක් විතර උසයි. ඒ හම චොකලට් පාටට කිට්ටු ලස්සන දුඹුරු පාට නිරෝගී එකක්. ඇඟ පත හොඳට හැදිලා.හිර ඇඟටම කැපෙන කලු ටී ෂර්ට් එකකුයි ඩෙනිමකුයි ඇඳලා හිටියට මිනිහා දාල තිබුණෙ කකුලට ලොකු ස්පෝර්ට් සපත්තු දෙකක්. හොඳට රැවුල බාලා, යටි තොල යටින් විතරක් චූටි රැවුලක් ඉතුරු කරලා මේ දවස් වල මෝස්තරේට. කොල්ලට වැඩි වයසක් පෙනුනෙ නෑ, විසි ගණන් වල මුල හරියෙ වගේ ඇති කියලයි මට හිතෙන්නෙ. වම් අතේ කලු නූල් මහ ගොඩක් බැඳලා, ඒ මදිවට බලු දම් වැලක් විතර මහත රිදී පාට බ්රේමස්ලට් එකකුත් දාලා, ඒ පාටටම තරමක මුද්දකුත් දාලා. හොඳ ගනකම්, ලාවට ක්රේ්ල්, ජෙල් කරපු , දිලිසෙන කොන්ඩෙට තමා මගෙ ඇහැ වැඩිපුර ගියෙ. මිනිහා හැබෑවටම ලස්සනයි. එයත් ආවෙ ටිකක් උනන්දුවෙන් වටපිට බල බල. එයා හොයන්නෙත් අර කලින් ගියආණ්ඩුවෙ රස්සාව කරන පෙනුමක් තියන කෙනා හොයපු දේමද කියලා මට පොඩි පුදුමයක් හිතුනා. මිනිස්සු අස්සෙන් අස්සෙන් ඇවිත් මිනිහගෙ බැල්ම එක පාරටම මං දිහාට ආවා. ඒ බැල්ම මාව පහු කරගෙන ගිහින් ආයෙමත් ඇවිත් මගෙ ඇස්වල පැටලුනා. එයාගෙ තොල් වල ලා හිනාවක් තැවරිලා. මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා. එයා මං දිහා බලාගෙනම ඉස්සරහට ආවා. මාව පහු කරං යනකොටත් මං දිහා පැත්තට බැලුවා. අන්දකාරෙ පැත්තට යන ගමන් පිටිපස්ස හැරිලත් බැලුවෙ මගෙ දිහා. මගෙ මුලු ආත්මෙටම දරුණු විදියට ඕනෙ වුනේ ෆ්ලැට්ෆෝම් එකේ අන්දකාර පැත්තට යන ඒ කොල්ලව ෆලෝ කරන්න. සෑහෙන කාලෙකින් මම ඒ පැත්තට ගිහින් තිබුනෙ නෑ. ඒක අමුතු විදියෙ තැනක්, බලාපොරොතු පුරෝගෙන ගියත් ගොඩක් වෙලාවට වෙන්නෙ ඒ බලාපොරොත්තු කඩ වෙන එක. ඒත් මගෙ ඇස් ඉස්සරහින් මේ දැන් ලිස්සල ගිය ඒ අපූරු කොලුවා ගැන හිතනකොට, මට තව දුරටත් මොකවත් දැක්කෙ නැහැ වගේ මෙහෙම වාඩි වෙලා ඉන්න පුලුවන් කමක් නැහැ. මං ඒ අවදානම ගන්නවා. මට එයාව ළඟට බලන්න ඕනෙ.ඒ ඕනෙ කම මටම නතර කරගන්න බෑ.
මම බංකුවෙන් නැගිටල හෙමින්, පුලුවන් තරම් ස්වභාවික විදියට අන්දකාරෙ පැත්තට ඇවිද්දා. කොයි තරම් පාරක් ඒ අන්දකාරෙට ගිහින් තිබුනත්, ඊ ළඟට යන වතාවෙ මට දැනෙන්නෙ බයක්. මං මහ මෝඩයෙක් වගේ මට ඒ වෙලාවට දැනෙන්න ගන්නවා. මට හිතෙනවා හැමෝම මං දිහා බලන් ඉන්නවා, හැමෝම ඇයි මං එතනට යන්නෙ කියන එක දන්නවා කියලා. ඒ එක්කම මට ඉක්මන් වෙන්නත් සිද්ද වෙනවා. මොකද එයා දිහා අන්දකාරෙ ඇතුලෙ තව ගොඩක් ඇස් බලන් ඉන්න බවත් මං දන්න නිසා. දවසෙම වැහැලා වළාකුලු ටික ඉවර කර ගත්තු අහසෙ තැන් තැන් වල තරු දිලිසෙන්න පටන් අරන්. ඒත් හඳ නෑ. අන්දකාරෙ හෙවණැලි. තැන් තැන් වල රතු පාට එළි තිත්. ඒ පත්තු වෙන සිගරට් අගිසි. ඒ රතු එළි තිත් සමහරක් තනියෙන්, සමහරක් දෙක තුන එක ළඟ. සමහරක් අවතාර වගේ එහාට මෙහාට හෙමීන් ඇදෙනවා. අන්දකාරෙට ආවට පස්සෙ මට මොකක්දෝ ආරක්ෂාවක් දැනෙනවා. කළුවරේ කිසි කෙනෙක්ගෙ මූණු පේන්නෙ නෑ. මං හොයපු කෙනා කොහෙද කියලා උවමනාවෙන් වටපිට බැලුවත් මට හොයා ගන්න බැරි වුණා. ටිකකින් වේගෙන් ගිය කෝච්චියක එලියට අන්දකාර කොටස තත්පරේකට එළිය වුණා. මිනිහා හිටියා. දෙය්යන්ට පින් සිද්ද වෙන්න මිනිහා තවමත් හිටියෙ තනියම. ගොදුර දැකපු තවත් එවුං ඉන්න බව දැක්ක නිසා මම අඩියට දෙකට ගිහින් එයා ගාවින් හිට ගත්තා. ඊළඟට ඒ දරන්න බැරි අතීරණේ නිස්සද්ද තප්පරේ. මිනිහා හෙලවුනා. හෙමිහිට අඩියක් දෙකක් ඉස්සරහට ගිහින් ආයෙමත් ඇවිත් මගෙ වටේ රවුමක් ඇවිදලා මගෙ පැත්තකින් හිට ගත්තා. එයාගෙ අත මගෙ අතේ ගෑවෙන නොගෑවෙන තරං. ආයෙමත් මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා.
"අපි අර පැත්තට යං" එයා කෙඳිරුවා.
ඒ අත දික්වුණේ හෝදං යනවට කලුගල් දාපු වෙරළ පැත්තට. කළුවර නිසා මට ඒ මූණ කියවන්න බෑ. ඒත් ඒ හඬ උද්යෝගිමත්. ඕනෑවටත් වඩා උද්යෝගිමත්. මිනිහා දවස ගානෙ එන, වැඩේ ඉවර වුනාම සල්ලි ඉල්ලන එකෙක්ද කියලත් මට හීන් බයක් ආවා.
"මොකටද?" මං ඇහුවා.
"වෙන මොකටද ඉතිං ? " කරදර කටහඬකින් එයා උත්තර දුන්නා.
"මොකද මෙතෙන්ට ආවෙ?" ආයෙ මිනිහ අහද්දි මම නිස්සද්දව හිටියා. ඒකා එක පාරටම මගෙ අත අරගෙන ඒකගෙ කලිසම උඩින් තියලා තද කලා.
"බලන්න නියම ආතල් එකක් ගත්තැකි". මාව ගැස්සුනා. ඒ අත සීතලයි. මං මගෙ අත ඇදලා ගත්තා. මට තේරුණා මේක තනියෙන් යන්න තියන ගමනක් කියලා. අනික මේක වෙනින් දවසක් නෙමේ. අද මගෙ උපන් දිනේ.
"මට බෑ වගේ..." මම යන්න හැරුනෙ හිනාවකුත් එක්ක. ඒත් පපුව ඇතුලෙ මොකද්දෝ දුකක් උනමින් තිබුනා. "පස්සෙ අපරාදෙ කියලා හිතෙයි, නියම ආතල් එකක් ඔයා අතාරින්නෙ..." මිනිහා ආයෙමත් කෙඳිරුවා. මං ඔහේ එළිය තියන පැත්තට ඇවිදන් ගියා.
"චුට්ටක් ඉන්නකො", මගෙ උපන් දින තෑග්ග කිව්වම ආයෙමත් මගෙ කකුල් නැවතුනා. මිනිහා ඇවිදන් ආවා.
" තියේනං රුපියල් පනහක් විතර ගන්න බැරි වෙයිද ? " එයා කෙඳිරුවා.
"ඒ මොකටද? " ටික වෙලාවක් මිනිහා අහක බලන් හිටියෙ ලැජ්ජවෙන් වගේ.
"අංකල්........, මම දවල්ටත් කාලා නෑ, බඩගිනියි..පොඩි උදව්වක් කරන්න.." මිනිහගෙ හඬ හීන් වෙලා. මං හිතුවා හරි, මිනිහා සල්ලි වලට එන එකෙක්. ඇඳුමෙන් පැළඳුමෙන් එයා කියන තරං දරුණු අහේනියක් මට පෙනුනෙ නෑ. කුඩු ගහන්න සල්ලි හොයනවා වෙන්නත් බැරි නෑ. ඒත් මට පුංචි කණගාටුවකුත් ඇති වුණා. ඒ මගෙ හැටි. මිනිහා ඇත්ත කියනවා වෙන්නත් බැරි නෑ.
"හරි දවල්ටත් කාලා නෑනෙ, මං රෑ කෑම අරන් දෙන්නං "
"න්..න්..නෑ..නෑ.. එපා.. එපා.. මට ඔයාට කරදර කරන්න ඕනෙ නෑ...." ඒ කටහඬේ දෙගිඩියාවක් තිබුණා.
"මොන කරදරයක්ද අයිසෙ? මාත් රෑට කෑවෙ නෑ තාම.. එන්න යං.” මිනිහා කල් මැරුවා..
“එනවද? " මං ආයෙත් ඇහුවා. මං යන්න පිටත් වුනාම මිනිහා ආවෙ මට අඩියක් පිටිපස්සෙන්. ඉස්ටේසමෙන් එලියට ඇවිත් පාරෙන් එහා පැත්තෙ හොටලේ මේසෙ මගෙත් එක්ක වාඩි වුනත් එයා වචනයක් වත් කිව්වෙ නැහැ.

"නම මොකක්ද?"
"අමිල"
"මොනවද කන්නෙ, බුරියානි? " මගෙ කටහඬ මොලොක්.
"හා" මිනිහා හිනා වෙලා කියලා ආයෙමත් ලොකුවට හිනා වුනා. හිටගෙන හිටපු වයසක පහේ වේටර්ට මම බුරියානි ගේන්න කිව්වා.
" එපා මං , විහිලුවට කිව්වෙ එච්චර ගණන් දෙයක් එපා, "
"පරක්කු වැඩියි දැන් ඔඩර් කරල ඉවරයි "
කෑම එනකං අපි නිස්සද්දව වාඩි වෙලා හිටියා, මොනවද අහන්නෙ කියලා මගෙ ඔලුවට ආවෙ නෑ. කන ගමන් ඔලුව උස්සලා අමිල මං දිහා උවමනාවෙන් බැලුවා.
" ඇයි අය්යෙ ඔයා මේක කරන්නෙ? .... මං කිව්වෙ ඇයි මට කෑම අරං දෙන්න හිතුවෙ....? එක පාරටම අංකල් අය්යා වෙලා. මං ඔහේ කල්පනා කලා. සමහර විට බඩ පිරෙනකොට දේවල් වෙනස් පේනව ඇති.
"අය්ය හිතනවද දන්නෙ නෑ මාත් හිඟන්නෙක් කියලා? "
"නෑ අද මගෙ උපන් දිනේ, ඉතිං මං හිතා ගන්නං මේ මගෙ උපන් දින පාටිය කියලා. මෙහෙම සංග්ර හයක් වත් කරන්න මට කවුරුවත් නෑ.."
" හැපී බර්ත් ඩේ අය්යෙ...." කන ගමන්ම අමිල මේසෙට උඩින් එයාගෙ වම් අත දික් කලා. මටත් දෙන්න උනේ මගෙ වම් අත.
"ඇයි ගෙදර අය? අය්යා බැඳලා නැද්ද?
"නෑ"
"අය්යට දැන් වයස කීයද? "
"හතලිස් පහයි අදට... "
"හතලිහකට වඩා නං පේන්නෑ "
"මං දන්නවා ඒක, ඔයාට කීයද?"
"විස්සයි" මං මේ කොල්ලට වඩා දෙගුණෙකටත් වැඩිය වැඩිමල්.
"ඉතිං ඇයි බඳින්නෙ නැත්තෙ?"
"මට ඕනෙ නැති නිසා..." ඒක කාලාන්තරක් තිස්සෙ ගොඩක් අය මගෙන් අහන් ප්ර ශ්නයක්. ඇත්තටම බලුවොත් මගෙන් වැඩිපුරම එක එක අය අහලා තියන ප්රතශ්නෙ ඕක වෙන්න ඇති. හැබැයි හතලිහ පැන්නට පස්සෙ ඒ ප්රනශ්නෙ අහන එක ටික ටික අඩු වෙනවා.
"අම්මෝ මං නං බඳිනවා.. මං මේක කරන්නෙ නිකන් ජොලියට ..කාටද ඕනෙ නාකි උනාම........................." අමිල කියෝගෙන කියෝගෙන ගිහින් එක පාරටම නැවැත්තුවා.
"මං වගේ වෙන්න? " මං ඇහුවෙ පොඩි හිනාවකුත් එක්ක.
"නෑ..නෑ.. මං කිව්වෙ මට ඒක කෙල්ලොත් එක්කත් කරන්න පුලුවන්.... අනික මං කැමති එහෙමයි... ජොලියට මිනිස්සුත් එක්ක ගියාට.... මේ මගෙ කෙල්ල...." අමිල දඩි බිඩියෙ පර්ස් එක ඇදලා පින්තූරයක් පෙන්නුවා. පින්තූරෙ හිටියෙ අවුරුදු දාහතරක පහළවක හුරු බුහුටි කෙල්ලෙක්.
" ඔයා මිනිස්සුත් එක්කත් යනවා කියලා එයා දන්නවද?" මං ඇහුවෙ හීන් හිනාවකින්.
"ආපෝ...න්න්නෑ..නෑ...."අමිල උත්තර දුන්නෙ ඇස් ලොකු කරලා.
"කෙල්ලෙක්ව ඇඳට ගන්න අමාරුයි අය්යෙ... අනික මං මේක දිගටම කරන්නෙත් නෑ..."
"ඔයා ඔය කියන ජොලියට විතරක්ම නෙමේනෙ මිනිස්සුත් එක්ක ඕක කරන්නෙ.. ඒකෙන් සල්ලිත් හොයනවනෙ....?" මිනිහා මූණ හිස් කරන් ඇස් ලොකු කරන් මගෙ දිහා බැලුවා.
" මෙහෙමයි....මගෙ එකෙන් එයාලත් ආතල් ගන්නවනෙ.... මං එයාලව පාවිච්චි කරනවා... එයාලා මට සල්ලි දෙනවා..". මට හිනා ගියා.
"එහෙමද? ඔයා කරනවා වගේම එයාලත් ඔයාව පාවිච්ච් කරනවනෙ එයාලා කැමති දේට...එයාලා ඒකට ගෙවනවා..එයාලා කටට ගන්න ආසා නං ඔයගෙ අහවල් එක සල්ලි දීලා ගන්නවා. ඔයාව විකිනෙනවා.. එහෙම නේද? " මිනිහා හොඳටම අවුල් වෙලා මගෙ දිහා බැලුවා මට හදිස්සියෙ මොකද වුනේ කියලා. සමහර විට මේ දැනුත් මාව පාවිච්චි වෙනවද කියන බයද මගෙන් ඒ එලියට පැන්නෙ? කැත වුනාම, වයසට ගියාම සමහර විට ඒ දේවල් සල්ලි වලට ගන්න වෙනවා.. ගණු දෙණු. එහෙම හිතනකොට මගෙ ආත්මෙට සාමයක් දැනෙනවා.
ලොකු නිස්සද්දතාවයකට පස්සෙ අමිල කතා කලා.
" එවලෙ ඔයාට හිතුණ මං ඔයාගෙන් සල්ලි ඉල්ලයි කියලා, එකයි වැල්ලට ආවෙ නැත්තෙ නේද? "
"නෑ ළමයො මං දැනං හිටියා ඔයා සල්ලි ඉල්ලයි කියලා, මං ඔයාට සල්ලි දෙන්නත් ඉඩ තිබුනා... ඒකම නෙමේ හේතුව..."
"එහෙනං? ඔයා එක හැමෝත් එක්කම කරන්නෙ නැද්ද?"
"නෑ, මං එහෙම හොයන්නෙ නෑ"
" එහෙනං ??????? මං කැතයිද? "
"අපෝ නෑ, ඔයා හොඳ පෙනුමයි... , ඔයාව දැක්කම මට ඒක ඕනෙ වුනා,පස්සෙ මට හිතුනා ඒක ඕනෙ නෑ කියලා, කොහොමටත් අද දවසෙ ඒ වගේ දෙයක් සල්ලි දීලා ගන්න ඕනෙ නෑ කියල හිතුනා. “
වේටර් ඇවිත් ඇහුවා බිල ගේන්නද?, සිගරට් ඕනෙද කියලා...?"ඔයාට සිගරට් ඕනෙනෙ?" මං ඇහුවම අමිල හිනාවුනා. මං සිගරට් එකක් ඕඩර් කලා.
"ඉතිං අද දවල්ට ඇත්තටම කෑවෙ නැද්ද?"
"අද දවස තිස්සෙ එක එක සාප්පු වල ගානෙ ඇවිද්දා, ඉතිං අතේ තිබ්බ සල්ලි ටික ඉවර වුනා"
"ඔයා රස්සාවක් කරන්නෙ නෑනෙ තාම?, ඉගෙන ගන්නවද?"
"නෑ ඒත් මං කොම්පියුටර් ක්ලාස් ගියා..." මිනිහා උත්තර දුන්නෙ අහක බලාගෙන. මට හිතුනා මං මෝඩ විදියට අහන එක එක ප්රයශ්න වලින් කොල්ලට රිදුනද කියලත්. ඒත් මිනිහා කතා කරන්න ගත්තා.
"දන්නවනෙ අය්යෙ මේ කාලෙ රස්සාවක් හොයා ගන්න හරි අමාරුයි, මට රට යන්න ඕනෙ. ඔය සවුදි වගේ රටකට. අපේ තාත්තත් ඉන්නෙ සවුදි ,මං නිකන් ගෙදර ඉන්නකොට අම්මගෙ බර බරේ. ඉතිං යාලුවොත් එක්ක අවිදින්න යනවා, අපි MC යනවා ඒකෙ හැමතැනම AC දාලා.. මරු”
එයා සිගරට් එක බීලා ඉවර වෙනකන් අපි ඔහෙ සද්ද නැතුව වාඩි වෙලා ඉඳලා අපි එතනින් එලියට ආවා. "කොහොමද එතන කෑම ? "
"හොඳයි , මරු , තැන්ක් යු අය්යෙ .."
"එහෙනං අපි යමු නේද? ඔයාට දැන් ගෙදර යන්න පරක්කු වෙලත් ඇති? "
එක පාරටම අමිල මං දිහා ලොකුවට බැලුවා.
"එහෙම හරි නෑනෙ අය්යෙ, අය්යගෙ උපන් දිනේට අය්ය මට සැලකුවා, මං තෑග්ගක්වත් දුන්නෙ නෑනෙ..."
"මොන තෑගිද අමිල, ඔයා ගාව ඔයාගෙ වැඩ වලටත් සල්ලි නැතුව කොහොමද ඔයා මට තෑගි දෙන්නෙ?"
"ඇයි සල්ලි? මට මාව තෑගි දෙන්න පුලුවන්නෙ?"
"වැරදියට හිතන්න එපා, මට පුලුවන් අද අය්යට කවදාවත් අමතක නොවෙන විදියෙ උපන්දිනයක් කරන්න, හැබැයි අය්ය කැමතිනම් විතරක්...."
මං අමිල දිහා පුදුමෙන් බැලුවා. එයා හිනා වෙනවා. ඒ මූණෙ දෙගිඩියාවක් නෑ. මං ඒ තෑග්ග බාර ගන්න තීරණ්ය කලා.
"හරි, ඒත් අපි කොහාටද යන්නෙ?"
"ඇයි රේල් පාරට ?" එයා යෝජනා කලා. එතෙන්ට යන්න මගෙ වැඩි කැමත්තක් නෑ, ඒ ගල් ගොඩේ මොනවා කරන්නද? එතන කිසි නිදහසකුත් නෑ. අමිලව ගෙදර් ගෙනියන්න බැරි ඇයි කියලා මම වාසි අවාසි කිරුවා.
"මං තනියම ෆ්ලැට් එකක ඉන්නෙ, මොරටුවෙ. ඔයාට පරක්කු වෙන්නෙ නැත්තං අපි එහෙ යමු" මිනිහව මට හැඩ්ල් කර ගන්න පුලුවන් කියලා තීරණය කරලයි මං එහෙම කිව්වෙ. මිනිහා ඔලුව වැනුවා. අපි ගෙදර ගියෙ බස් එකේ.
"ෂා ... මාරම ලස්සන තැනක් නෙ...." ගෙට ඇතුල් වෙනකොටම එයා කිව්වා. එයා සාලෙ ඇවිද්දෙ හරියට කෞතුකාගාරයක් ඇතුලෙ ඉන්නවා වගෙ.
"අම්මෝ... අය්යා මෙච්චර පොත් කියෝනවද?..." මගෙ පොත් රාක්කෙ ඉස්සරහ නතර වෙලා මිනිහා ඇහුවා.
"ඔව් මගෙ පාලුව නැති කර ගන්න...." මගෙ සාලෙ එක එක කාල වල මං එකතු කරපු පොඩි පොඩි කෞතුක බඩු, ඉටි පන්දම් රඳවන, සුවඳ ඉටි පන්දම්, මං අමාරුවෙන් හොයා ගත්තු පරණ පිංතූර වගේ දේ වලින් පිරිලා. මං ඒ බඩු එක එක තැන් වල තියලා, ආයෙ කාලෙකින් තියන තැන වෙනස් කරලා සතුටක් ලැබුවා. ඒ දේවල් මගෙ තනි පාට ජීවිතේට වෙනස් පාටවල් ගේනවා කියලා මට හිතිලා තිබුණා.
"අය්යෙ මේ ඔයාගෙ ගෙදර කට්ටියද?" අමිල අපේ පවුලෙ අයෙගෙයි, මගෙ යාළුවන්ගෙයි පිංතූර එල්ලලා තිබුණු තැනක ඉඳන් ඇහුවා. ඒ පිංතූර මට ඉස්සර සතුටින් ගෙවුනු දවස් මතක් කලා, දැන් ඒවා මගෙ සාලෙ ලස්සන කලා ඇර වෙන දෙයක් කලේ නෑ.
"ඔයාට තිබ්බෙ අද එයාලව බලන්න යන්න අය්යෙ, බලන්නනකො ඔයාට යාළුවො ගොඩක් ඉඳලනෙ, අපරාදෙ ඔයාට තිබ්බෙ ඒ අයත් එක්ක පාටියක් දාන්න........"
අමිල කිව්වා.
"මගෙ යාළුවොත් දැන් මගෙ වයසෙමයි, අපි පාටි දාන එක නවත්තලා ගොඩක් කල් අමිල...."
"පිස්සු ඔයා ඔයාගෙ වයස ගැන ඕනවට වඩා හිතනවා, අපරාදෙ කිසි ජොලියක් ගන්නෙ නැතුව...."
බලන්න කව්ද ඔයාට උපදෙස් දෙන්නෙ කියලා, මගෙ හිත මට ඇඟිල්ලෙන් ඇන්නා. අපෙ සංවාදෙ ඕනෙ නැති තැනකට ඇදිලා යනවදෝ කියලා මට හිතුනා. අපි මෙතෙන්ට ආවෙ වෙන දේකට නෙමේ අහවල් වැඩේටනෙ.
"ඇයි හිටං ඉන්නෙ වාඩි වෙන්නකො අමිල". අමිල වාඩි වෙලා එයාගෙ ටී ෂර්ට් එක ගැලෙව්වා.මාර ඇඟක් ඒක. තද දුඹුරු පාට හම, හිර පපුව, සික්ස් පැක් බේරිච්ච බඩ,හොඳට මස් දාපු අත්. ඒ ඇඟේ මවිල් නෑ. මාර ලස්සන ඇඟක්. "එන්න ඇවිත් වාඩි වෙන්න.." අමිල එයා ගාව ඉඩ පෙන්නලා මට කතා කලා. මම කලබල වුනා. මොනවා කරන්නද කියලා එක පාරටම මගෙ ඔලුවට ආවෙ නෑ. මං ගිහින් ටී.වී. එක දැම්මා.ඊළඟට මොකද්ද කරන්න ඕනෙ? මං හිතුවා.
"ඔයාට මහන්සිත් ඇති, නාගෙන එන්න අමිල..." අන්තිමට මං කිව්වා.
"හරි, " අමිල එක පාරටම නැගිටලා මිනිහගෙ ඩෙනිමෙ බොත්තම පැන්නුවා.
"න්න්..න්න්.නෑ..එන්න මං ඔයාට බාත් රූම් එක පෙන්නන්න." මිනිහා මං පස්සෙන් ඇවිත් දොර වහන්නෙත් නැතුව ඩෙනිමයි, යට ඇඳුමයි ගැලෙව්වා.
"එන්න අපි දෙන්නම එකට නාමු, වෙලාවත් ඉතුරු වෙනවනෙ..."මිනිහා කිව්වෙ බොහෝම සාමාන්යි විදියට. මං හිනා වුනා.
“දැන් ඔයාට ගෙදර යන්න බස් තියනවද?දැන් දහයටත් ළඟ ඇති “
"මං හිතන්නෙ නෑ දැන් බස් එකක් අල්ල ගන්න පුලුවන් වෙයි කියලා"
"කමක් නෑ ඔයා ඉස්සෙල්ලා නා ගන්නකො,තුවා ඇතුලෙ ඇති..." මං කාමරෙන් එලියට ඇවිත් ටී.වී. එක ඉස්සරහින් වාඩි වුනා.මට ඇහුනා වතුර වැටෙන සද්දෙ.
"නියමයි, මේකෙ උණු වතුරත් තියනවා”. අමිල ඇතුලෙ ඉඳන් කෑ ගැහුවා. ටී.වී. එකේ පෙන්නපු චිත්රමපටියෙ තිබුණෙ යුද්ධයක්. දෙපැත්ත හෝ ගාලා වෙඩි තියා ගන්නවා. ඒත් මගෙ ඔළුවට ඒකෙ පෙන්නපු දේවල් ගියෙ නෑ. මං ඔහේ බලා හිටියා. හදිස්සියෙ මම දැක්කා වෙලාව නමය හමාරයි කියලා. හැමදාම ගෙදරට ආපු ගමන් පුරුද්දට වගේ මං කරන්නෙ ටී.වී. එක දාන එක.වෙන කරන්න දෙයක් නැති කමටදෝ ඒ පිස්සු පෙට්ටියට මං ඇබ්බැහි වෙලා.ඉතිං ටී.වී. එකේ යන වැඩසටහන දැක්කම මට අනුමානෙට වෙලාව කියන්න පුලුවන්. මම හිතෙන් වෙලාව ගණන් හදලා බැලුවා.අමිලට නාන්න තව විනාඩි පහළවයි, මට නාන්නත් විනාඩි විස්සක් විතර යයි. දෙන්නට අර වැඩේ කරන්න විනාඩි තිහක් හතලිහක් විතර යාවි. එත්කොට වෙලාව එකොළහ විතර වෙලා තියෙවි. ඒ වෙලාවට එයාට ගෙදර යන්න බස් තියේවිද? මං එයාට අද රෑ මෙහෙ නතර වෙන්න දෙනවද? එක පාරටම ලොකු අත් දෙකක් මගෙ උරෙස් වටෙන් ඇවිත් එතුනා.
"අය්යෙ..."මං ඔලුව උස්සලා බැලුවා. එයා මගෙ දිහා බලාගෙන. ඒක කිස් එකකට නියමෙටම ගැලපෙන ඉරියව්වක්. එයා ගාවින් මගෙ ෂැම්පු සුවඳයි, බොඩි වොෂ්වල සුවඳයි ආවා. ඒ ඇස් දිලිසෙනවා.ලස්සන කැරලි කොණ්ඩෙ අවුල් වෙලා. ඒත් මට අහන්න පුලුවන් වුනේ “හොඳට නා ගත්තද?” කියලා විතරයි.
"ඔව් අය්යෙ උණු වතුර ටික නියමයි" මං නැගිට්ටා. එයා ඇඳන් හිටියෙ තුවායක්.
"ඉන්න මං ඔයාට ෂෝටක් ගේන්නම්..." මං කිව්වා.
"අවුලක් නෑ , මෙහෙම හොඳයි, අපිට වැඩි වෙලා යන එකක් නෑනෙ..." මිනිහා හිනාවක් එක්කයි කිව්වෙ. මාත් හිනා වුනා.
"ඔව්, කමක් නෑ මං එකක් ගේන්නං, ඒත් ඔයා කැමතිනං අද රෑ ඔයාට මෙහෙ නතර වෙන්න පුලුවන්. ඒත් ඔයාලගෙ අම්මා කලබල වෙයි නේද? "
"නෑ අවුලක් නෑ, මං අම්මට කෝල් කරන්නං, තාත්තා ගිය මාසෙ ගෙදෙට්ට ෆෝන් එකක් එව්වා ඉතිං මට කතා කරන්න පුලුවන්, මං කියන්නං යාළුවෙක්ගෙ ගෙදර නැවතුනා කියලා. අය්යෙ ඔයාගෙ ෆෝන් එක දෙන්නකො මට ගෙදෙට්ට කතා කරන්න...."
මම ෂෝටක් ගෙනාවා. මිනිහා මගෙ ඉස්සරහම තුවාය ගලවලා ෂෝට ඇඳ ගත්තා. එහෙම එයාගෙ අම්මා එයාට නොදන්න තැනක ඉන්න දෙයිද ? මට හිතුනා.
"ඔයා ගෙදෙට්ට කෝල් කරලා ටී.වී. බල බල ඉන්න, මම ඉක්මනට නාලා එන්නං"මං මගෙ කාමරේට ගිහින් දොර වහලා ඇඳුම් මාරු කලා.එක පාරටම මගෙ ඔළුවට ආවෙ අමිලව එහෙම තනියම තියලා එන්න තරං මම එයාව විශ්වාස කරනවද කියන දේ. මිනිහගෙ ඇඳුම් තිබුනෙ මගෙ කාමරේ, ඉතිං ෂෝටක් විතරක් ඇඳන් මගෙ ඩී.වී.ඩී ප්ලේයර් එහ හරි ටී.වී. එක හරි අරන් එයා දුවයි කියලා හිතන්න අමාරුයිනෙ. ඊටත් පල්ලෙහා සිකුරුටි එකෙනුත් හිටියා.මගෙ පර්ස් එක තිබුනෙත් කාමරේ නිසා එච්චර බය වෙන්න දෙයක් නෑ කියලයි හිත කිව්වෙ. මිනිහාගෙ ඩෙනිම මගෙ ඇඳ උඩ. මම ඒකෙ සාක්කු වලට අත දාල බල්ලද්දි එයාගෙ පර්ස් එක මට හම්බවුණා .ඒකෙ තිබුනෙ රුපියල් විසි පහක් විතරයි. දවල්ටත් කාලා නෑ කියන කතාව ඇත්තක් වෙන්න පුලුවන්. මට එයාගෙ වයසත් බලන්න ඕනෙ නිසා මං එයාගෙ අයිඩෙන්ටියත් ඇදලා බැලුවා. වයස ගැන එයා කියලා තිබුනෙ බොරුවක්. එයාගෙ වයස විස්ස නෙමේ විසි දෙකක්.නම ඇත්ත, අමිලම තමා. වයස වැඩි වෙච්ච එක හොඳයි කියලයි මට හිතුනෙ. බාත් රූම් එකට ගිහින් මම හොඳට නෑවා. උණු වතුර ඇඟ දිගේ ගලනකොට අමුතුම සනීපයක් දැනුනා.ඇඟේ හැම මස් පිඬුවක්ම ඒ සනීපෙන් කිලිපොලනවා. ඒ සනීපෙට හැම මහන්සියක්ම හේදෙනවා. ලයිට් බිල වැඩි වුනත් ඒ සනීපෙට ලෝබ නිසයි මං උණු වතුර ගත්තෙ. වෙනදට මෙහෙම නාන ගමන්ම මං තනියම සතුටු වෙනවා. එත් අදනං එහෙම බෑ කියලා මං මටම කිව්වා. ඇයි මං එහෙම කරන්නෙ, මං එනකං එයා සාලෙ බලා ඉද්දි? මං කණ්නාඩිය ඉස්සරහ හිට ගත්තා. ඒකෙ මතුපිට හීන් පටලය බැඳිලා.ඒක මම අතින් පිහදානකොට ටික ටික මගෙ මූණ පැහැදිලි වුනා. ඇයි? ඇයි? මගෙම මූණ මාව අවුල් කරනවා. මං කිසි එළියක් නැති නිකම්ම නිකං සාමාන්යැ මැදි වයසෙ මිනිහෙක්. ඉතිං ඇයි එයා මෙහෙ ආවෙ? මගෙ මොන ලස්සනකටද? ඒ ඇත්ත මාව බයකරනවා. පරක්කු වෙලා හරි, ඉක්මනටම හරි නාකි වෙන්න කිට්ටු වෙච්ච කඳක් නේද මං? ඉතිං ?
එත් මේ අතට ආපු මොහොත, මේ සතුට අතඇරලා දාන්න මට බෑ. මම සරමකට බැහැලා පර්ෆියුම් ටිකක් ලාවට තවරගෙන එළියට ආවා.මං යනකොට අමිල සී.ඩී. රැක් එක ලඟට වෙලා සී.ඩී. තෝරනවා. මාව දැක්ක ගමන් කොල්ලා ගැස්සුනා
."නාලා ඉවරද මෙච්චර ඉක්මනට? ,අම්මෝ අය්යා ගාව මාර සී.ඩී. තොගයක්නෙ තියෙන්නෙ, මේ අලුත්ම සින්දු තියන ඒවත් තියනවා "
"ඔව්, මං ඔයාලා අහන අලුත්ම සින්දුත් අහනවා. එතකොට මට බොරුවට හරි ටිකක් තරුණයි වගේ දැනෙනවා.." මං කිව්වෙ හිනා වෙලා.
" අපෝ ආයෙමත් වයස කතන්දරේ ඇද ගත්තා..."
අපි ආයෙමත් ටී.වී. එක ඉස්සරහින් වාඩි වුනා. එයා සෙටියෙ, මම පුටුවෙ.
" අය්යෙ ඔයා ඔහොම ඉඳලා හරියන්නෙ නෑ. ටිකක් එහෙ මෙහෙ යන්න ඕනෙ ඔය පාටි වලට එහෙම"
"මං යනවා"
"මං කිව්වෙ ඔයගොල්ලන්ගෙ පාටි වලට, ඒවා තියනවනෙ?"
"තියනවා, තියනවා.... ඒත් ඒවා තියෙන්නෙ ඕගොල්ලො වගේ තරුණ අයට මිසක් මං වගේ අයට නෙමේ, ඊටත් ඕවයෙ තනියෙන් යන්න මං කැමති නෑ...."
"ඇයි තනියෙන් යන්නෙ, මාත් එන්නං. පාටිය ඉවර වෙනකනුත් ඔයත් එක්කම ඉන්නං, හැබැයි අය්ය මට ටිකට් එකක් අරන් දෙන්න ඕනෙ... ඒවයෙ ටිකට් හරි ගණන්නෙ...වැරදියට ගන්න එපා අය්යා ලව්වා මං ටිකට් ගන්න හදනවා කියලා.. අය්යා ඒ වගේ තැන් වලට ගිහින් යාළුවො අඳුන ගන්න ඕනෙ....හරිනං අය්යට ඕවට යන්න තිබුනෙ මීට කලින්... තරුණ කාලෙ…." මට හිනා ගියා.
"අපි තරුණ කාලෙ ඕවා තිබුනෙ නෑ, ශොපිං මෝල්, ඉන්ටර් නෙට්..එක එක සංවිධාන ඔය මොකවත්ම තිබුනෙ නෑ..දැන් දැන් ගොඩක් දේවල් වුනාට අඩු තරමෙ , දැන් කට්ටියට මුණ ගැහිලා තේකක් බොන්න හරි පුලුවන්ං"
"ඉතිං ඒ කාලෙ ඕගොල්ලො හම්බවුණේ ?"
"අහම්බෙන් හම්බවුනොත් තමා ඉතින්..."
" අය්යා කාත් එක්කවත් යාලු වෙලා ඉඳලා නැද්ද? මං කිව්වෙ පිරිමි අය එක්ක සම්බන්දෙක? "
"පොඩි පොඩි සිද්දි කීපයක් තිබුනා ඒ දවස්වල "
"ඒ එකක්වත් දිගටම තියා ගත්තෙ නැත්තෙ?ඒකනෙ අවුල නේද? ඔක්කොම එවුං වටේ යනවනෙ...."
"හැමෝම එහෙම නෑ.. හැම දේම සදාකාලිකත් නැහැනෙ......"
"ඉතිං අය්යා තාම පරක්කු නැහැනෙ..."
"හරි කෙනා මුණගැහුනොත්..."
එයා මගෙ ඇස් දිහා ගැඹුරින් බැලුවා. සමහරවිට එයා බලපොරොත්තු වෙච්ච උද්යෝගෙ, දිලිසීම මගෙ ඇස් වල ඒ වෙලාවෙ තියෙන්න නැතුව ඇති. අන්තිමට අපි ආයෙමත් නිස්සද්දතාවකට ලිස්සලා ගියා. අපි ඔහේ ටී.වී. එක දිහා බලන් හිටියා. අනිතිමට ඒ නිස්සද්දතාව එයා කැඩුවා.
"අපි දෙයක් කරන්නනෙ ආවෙ... නේද?, දැන් ඔයාට ඒක ඕනෙ නැති වෙලා වගේනෙ?" මං හීන් හිනාවක් එක්ක එයා ගාවට ගියාම එයා ඔළුව උස්සලා මං දිහා බැලුවා. මං පාත් වෙලා ඒ අපූරු තොල් වල මෙලෙක බැලුවා.
පැහැදිලි ඉර එළිය දෝරෙ යන ලස්සන උදේ මං ඇහැරෙනකොට මගෙ එහා පැත්තෙ තිබුනෙ අමිලගෙ කඩවසම් මූණ. එයා පැත්තට හැරිලා නිදි. ඒ මූණ නෑඹුල්,ඊයෙ රෑ පාරෙදි දැක්ක මූණට වඩා මේ පෙනුම වෙනස්, මොකක්දෝ සාමයක්, අහිංසක කමක් ඒකෙ තැවරිලා. ඒක හීනයක් නෙමේ,අපි රෑ පුරා බෙදා ගත්තු සතුට... මොකද්ද ඒකට කියන හරි වචනෙ සතුටද...? දැන් මගෙ පැත්තකින් එයා ගුලි වෙලා නිදි. ඒක හීනයක් නෙමේ.ඒ ඇඟේ උනුහුම මේ දැනුත් මගෙ ඇඟේ තැවරෙනවා. මගෙ ඔළුව ඇතුලෙ තිබිච්ච පැහැදිලි ගතියත් එක්ක මං ගිහින් එයාටත් එක්ක හොඳ උදේ කෑම වේලක් හැදුවා. ටිකකින් එයා ඇවිත් මාව හිර කරලා ඉඹලා ගුඩ් මෝනිං කිව්වා.
"යන්න යන්න මූණ හෝදං එන්න" මං එයාව හුරතල් විදියට එලෙව්වා.
"ම්ම්ම්... රහයි," කන ගමන් එයා කිව්වා. මං හිතන්නෙ මේ එයා ඉංග්රීවසි පන්නෙට ගන්න පළවෙනි කෑම වේල.
"ඔයා රහට උයනවා" මං හිනා වුනා.
"උයන්න විතරක් නෙමේ අනිත් ඒවටත් හොඳයි..." එයා කිව්වෙ සද්දෙට හිනා වෙවී.
"මගෙ වයසට නරකම නෑ නේද? "
" ඔව් ඉතින් අවුරුදු ගාණක පලපුරුද්දනෙ ... ඊයෙ කොහොමද හොඳයිද?"
"ම්ම්ම්.. හොඳයි, මං හිතන්නෙ ඔයාටත් හොඳ පලපුරුද්දක් තියනවා''
"ඔන්න ඔන්න අය්යා හින්ට් පාස් කරන්න ගත්තා, මගෙ වයසට මං ඕනෙ තරං කරලා තියනවා තමා.... පලපුරුද්දක් තියන අය ගති....''අපි විනෝදෙන් බර දේවල් කිය කිය කෑවා. දැන් තියන්නෙ සරල පහසුවක්, වෙලාව වේගෙන් ගැලුවත් අමිල ගෙදර යන්න හදිස්සියක් පෙන්නුවෙ නෑ.
"අම්මා බලන් ඇති නේද.....'' කියලා මං මතක් කලාම එයා කඩිමුඩියෙ කාමරේට ගිහින් ඇඳන් ආවා.මම එයත් එක්ක දොර ළඟට ගියා.
"ඔයා කැමතිනං අපි ආයෙ දවසක ඒක කරමු... මෙන්න මගෙ නොම්බරේ.. ඕනෙ වෙලාවක කෝල් කරන්න.." එයා දිලිසෙන ඇස් වලින් බලලා කුරුමිනි අඬු අකුරෙන් එයාගෙ නමයි ටෙලි ෆෝන් නොම්මරෙයි ලියපු චූටි කඩදාසි කෑල්ලක් දුන්නා. මං ඒ කොළ කෑල්ල ගත්තෙ ආයෙ කෝල් කරන්නං කියලා පොරොන්දු වෙලා. එයා යන්න කලින් අපි දෙන්නා වැලඳ ගත්තා. ඒක නිකං ලිංගික ආසාවට කරපු දෙයක්ම නෙමේ. ඊට වඩා මොකද්දෝ බරක් එතන තිබුණා. එයා කොරිඩෝ එකේ ටික දුරක් ගිහින් ආයෙ හැරිලා හිනා වුනා. පඩිපෙළ බහින ගමනුත් නැවතිලා අත වැනුවා.
එයා නොපෙනී ගියාට පස්සෙ මං දොර වහද්දි මගෙ පපුව එක පාරට තේරෙන්නෙ නැති හැගීම් මහ හුඟකින් බර වෙලයි තිබුනෙ. ඒක වචනෙට ගන්න බැරි හැඟීම් ගොඩක්, නිකං දුකක් එක්ක කලවං වෙච්චි සතුටක්, ආලෝකයත් එක්ක කලවං වෙච්චි අඳුරක් වගේ දෙයක් ඒක. මට එයා යනවට දුකක් තිබුනත්, ඒක මගෙ තනිකම ගැන දුකම, නෙමේ වෙනදට කවුරුහරි මෙහෙම රෑට ඉඳලා උදේට යනකොට දැනෙන. මේක මොකක්දෝ නිශ්චල සතුටක් වගේ එකක්.
මං ගිහින් කෑම මේසෙ අස් කරද්දි දොරේ බෙල් එක වැදුනා. පුදුමෙට වගේ ඒ අමිල. එත් ඒ මූණ බර වෙලා.
"ඇයි මොකද වුනේ මොනවහරි අමතක වුනාද ?" මම ඇහුවා. එයා හිටියෙ නිස්සද්දව පොළව දිහා බලාගෙන. "කියන්න ළමයො මොකද වුනේ....?"
"මං ඔයාට ලොකු වැරැද්දක් කලා අය්යෙ..."
"මොකක්ද...?"
අමිල සාක්කුවට අත දාලා මොකක්දෝ පොලිතින් උරයක් දිග ඇරියා. මං අඳුන ගත්තා ඒක. ඒ මගෙ ඩිජිටල් ඩයරිය.? එයා ඒක දුන්නම මම ගත්තෙ පුදුමෙං ගොළු වෙලා.
" ඒක මහ බලු වැඩක්, ඇයි මං එහෙම කලේ...? අනේ මට සමාවෙන්න අය්යෙ...."
මොකක්ද කියන්න ඕනෙ කියලවත් මගෙ ඔළුවට ආවෙ නෑ.
"ඔයා ඒක කොයි වෙලේද ගත්තෙ?, අද උදේ?...විකුණන්නද හිතුවෙ...?
"නෑ, යාළුවන්ට පෙන්නන්න ගත්තෙ..."
"ඉතිං ආයෙ ගෙනාවෙ?"
"මට සමාවෙන්න අය්යෙ... ඔයා මට කොච්චර හොඳට සැලකුවද?, ඕක අරං යද්දි මට මං ගැනම අප්පිරියා හිතුනා..ඔයා ආයෙ කවදාවත් මාව විශ්වාස කරන එකකුත් නෑ, මාව මුණගැහෙන එකකුත් නෑ... මං එච්චරට කැත වැඩක් ඔයාට කලේ..." ඊට පස්සෙ එයා නිස්සද්දව බලං හිටියා. මොනවද කියන්න ඕනෙ කියලා මාත් දැනං හිටියෙ නෑ. ඒ මොහොත හරි දිගයි.
"මං ඔයාට තවත් කරදර කරන්නෙ නෑ, මං යනවා..." අමිල හැරිලා කොරිඩෝ එක දිගේ ඇවිදං ගියා.
"යන්න එපා අමිල, පොඩ්ඩක් ඉන්න...." මට කෑ ගැහුනා. එයා ආයෙත් ආවා.
"මේක තියා ගන්න" මං ඒක එයාගෙ අතට දුන්නා. එයා ඒක ගත්තෙ නෑ. පුදුමෙන් මං දිහා බලං හිටියා විතරයි. "එ..එපා.. මට ඒක ඕනෙ නෑ..."
"ගන්න මේක, මේක මගෙන් තෑග්ගක්, ඇත්තටම ඕක මටත් හම්බවෙච්ච තෑග්ගක්.. ඒත් ඒක පාවිච්චි කරන හැටි මට ටිකක් තේරැම් මදි... මේක මෙහෙ තිබුනොත්... මේක දකින දකින සැරේට මට ඔයා මේක ගත්තා නේද කියලා මතක් වෙයි... අනික ඇයි අපි ලස්සන මතක අමතක කර ගන්නෙ... ඔයා මේක ගන්නම ඕනෙ...''අමිල හෙමිහිට අත් දික් කරලා ඒක ගත්තත් කෙලින් ඇහැ දීලා මගෙ දිහා බැලුවෙ නෑ
."ඔයාට ආයෙ කවදාවත් මාව දකින්න ඕනෙ නෑනෙ...” එයා බිම බලාගෙනම කිව්වා. මම හිනා වුනා.
"මොකෝ නැතුව.. ආයෙ මගෙවත් වෙන් කාගෙවත් දෙයක් හොරෙන් ගන්න එපා අමිල, ඔයා ඕක ඉල්ලුවනං මම අනිවාර්යෙන්ම දෙනවනෙ.. දැන් ඔයා යන්න, ඔයාට පරක්කු වෙනවනෙ... මම පස්සෙ කෝල් කරන්නම්.... "
"මට සමාවෙන්න අය්යෙ..." අමිල හෙමින් හෙමින් පඩි බැස්සා.එයාගෙ ඔළුව බිමට බර වෙලයි තිබුනෙ.
මම දොර වහලා, සාලෙ ජනේලෙ ඇරියා. හීතල හුළං පාරක් ඇවිත් මාව කිති කැව්වා. මොනවා වුනත් එයා ආපහු ආවනෙ... එයා තාම පොඩි එකෙක්.. මට ඊයෙ රෑ මතක් වෙලා හිනා ගියා.ජනේලෙන් මට පෙනුනෙ ඉර එළියෙ නැලවෙන සන්සුන් මුහුදක් වගේ එක යායට තියන වෙනස් වෙනස් වහළවල් දාස් ගාණක්. අහස පැහැදිලියි. දීප්තිමත්. සන්සුන්.

අසේල කරුණානායක.
පරිවර්තනය - ඉසුරු චාමර සෝමවීර

Monday, October 3, 2011

සුදු අක්කේ


කුසුම්සිරි අයියා
තාමත් මුර වැඩ ද ?
පොඩි එකී දැන් ලොකු ද?
අපි හිටෙවු දොඩං ගහ
පීදිලා ඇති නේද ?
ඒකෙ ගෙඩි මොන රහ ද ?

ඉස්තොප්පු පඩිය උඩ
ඇන තියං බිම බලං
කුසුම්සිරි අයිය හිටි හැටි
දැනුත් මැවි මැවී පේනවා
"අඩෝ තෝ මරනව"
කියා මට ගැහුවනං
ඒ තියා එකම එක
වචනෙකින් බැන්න නං
මේ තරං දුකක් නෑ

ඔය අතේ රහ නැතත්
මෙහෙත් මං උයනවා
දිගට දිග කවි ලියා
ඉරිදා පත්තර වලට අරිනවා
ඒ කාලෙ තරමට ම සුදු නැතත්
සුදු කමිස කන්තෝරු අඳිනවා
සුදු අක්කෙ මං හොඳින් ඉන්නවා


ඉසුරු චාමර සෝමවීර

රබර්.


රබර්.
ලොකු අයියයි, තමරක්කයි ඇවිත් යුද්ධප්‍රකාශ කලා.දූනගහ වත්තෙ මගෙ කෑල්ලෙ රබර් දාන්න එපාලු. මං මොලයක් නැති හරකෙක්ලු. එක්කො ඒක බදු දෙන්නලු, නැත්තං විකුණන්නලු. තමරක්කා කිව්වා පාලිත අයියට කියලා ඔන්නං බ්‍රෝකර් කෙනෙකුත් හොයලා දෙන්නං කියලා.
"යකෝ අක්කර කාලක රබර් හිටෝලා තෝ අහවල් දෙයක් කරන්නද? කව්ද කිරි කපන්නෙ? උඹ කාටද කිරි විකුණන්නෙ? දැන් මේ හරියෙ කොහෙවත් රබර් නෑ... උඹට නං හෑබෑවටම පිස්සු....." ලොකු අයියා ගෝරනාඩු කරද්දි තිලිණිගෙ මූණෙ හීන් හිනාවක් නැටුවා.ලොකු අයියටයි තමරක්කටයි කෝල් කරලා මේ ආරංචිය කනේ තියන්න ඇත්තෙ තිලිණිම මිසක් වෙන කවුරුවත් නෙමේනෙ.
"බලපං මේ ගෙයි හැටි, වවුල් තිප්පොලක් වගේ, තිලිණිම ඉන්නවා මිසක් මං වගේ ගෑනියෙක් නං දමලා ගහලා යනවා... උඹ ඔය රබර් දාන්න වියදං කරන සල්ලි වලින් පොඩි කඩ කෑලි දෙකක් නග්ගලා කුලියට දීපංකො, නැත්තං විකුණලා ගෙයි වැඩක් කර ගනිංකො...."
" මෙයා රබර් දාන්න හදන්නෙ ඔෆිස් එකේ දහ මාසෙ ණය අරං අක්කෙ... බලන්නකො..." තමරක්කා නතර කරනකොට තිලිණි පටන් ගත්තා.
" උඹට ඔල්මාදෙද?, ඉඩම පැනලා යන්නෙ නෑනෙ... ඒ සල්ලි වලින් ගෙයි තීන්ත ටිකක් ගාපන්කො... අම්මයි තාත්තයි කොච්චර පිලිවෙලට තියං හිටපු තැනක්ද මේ.....?" තමරක්කා හීල්ලුවා. මං ගොලුවෙක් බීරෙක් වගේ ඔහෙ බලන් හිටියා. තමරක්කා කලින් ගියෙ පොඩි එකාව පංතියෙන් ගන්න තියනවා කියලා.
"මල්ලියෙ උඹ මෝඩයෙක් නෙමේනෙ නිකං මේ තේරුමක් නැති විකාර වැඩ වලට, සල්ලි නාස්ති කරන්න එපා... උඹ හිතයි අපි අපේ කොටහවල් වික්ක නිසා ඉරිසියාවට උඹේ පංගුවත් විකුණන්න කියනවා කියලා, විකුණන්නැත්තං ඔහෙ තිබිච්චාවෙ... තේරුමක් නැති වැඩ කරලා සල්ලි නාස්ති කර ගන්නෙ නැතුව." අක්කා යන ගමන් කියලා ගියා.
ලොකු අයියා ගියෙ පහළ කුමාරලෑ ගෙදෙට්ටත් ගිහින් එහෙන් ඇඹරැල්ලා කඩන්. තිලිණි ලොකු අයියට ගෙනියන්න කෙහෙල් මුහ දෙක තුනකුයි, දෙහි ගෙඩි ටිකකුයි ඔතනවා මං දැක්කා. එහෙ කුමාරි අක්කට ආයෙත් ළමයි හම්බ වෙන්නලු.
"පොලොස් බැලුවා..., පායන හින්දද කොහෙද තාම නෑ අයියෙ.... කොහෙන් හරි හොයං පොලොස් ඇඹුලක් හදං අපි වෙලාවක ඒ පැත්තෙ එන්නං...." තිලිණි කිව්වම ලොකු අයියා මොකවත් කියන්නැතුව හිනා වුනා.
"මල්ලි, මෝඩකං කරලා මිනිස්සු හිනස්සන්නැතුව උඹේ ගෑනිටයි ළමයිටයි යන කල දවසක් බලහං..'' අයියා හිව්වෙ චූටි පුතා වඳිනකොට ඔලුව අත ගාන ගමං. මං මොකවත් කියන්න ගියෙ නෑ. ලොකු අයියගෙ අලුත්ම අලුත් පැණි පාට cherry QQ කාර් එක චූටි පුතාටයි, තිලිණිටයි වෙනසක් කරලා තිබුනා.
"ඒක මරු නේද තාත්තෙ...? පාට තමයි කැත.. අපි ගන්නකොට රතු පාට එකේ කලු පාට ඉරි වැටිච්ච එකක් ගමු.." පුතා කිව්වෙ ලොකු අයියා ගෙනාපු චොකලට් කේක් කන ගමන්.
"ඊට කලින් අර මෝටබයිසිකලේ පැච් එක දාන්න කියලා තාත්තට කියන්න... කාර්..? අපි කාර් ගන්නෙ ඉතිං ලබන ආත්මෙ තමා පුතේ..." තිලිණි ගස්සගෙන කුස්සියට ගියා.
ගොඩක් රෑ වෙනකං මට නින්ද ගියෙ නෑ. තිලිණිත් එහෙට මෙහෙට පෙරලුනේ නිදි නැතුව. මං එයාගෙ ඇඟට උඩින් අතක් දැම්මම එය මගෙ අත නොහිතපු වේගෙකින් තල්ලු කලා.
"යන්න අනේ යන්න... මටත් කියලා ඉවසන්න පුලුවන් සීමාවක් තියනව..." එයාගෙ සද්දෙ හෙම්බිරිස්සා ගතියයි.ඒත් තීරණාත්මකයි. එයා අඬලා. ඒ වෙනදට කියන හුරතල් එපා කිවිල්ල හරි, මහන්සියට කියන කම්මැලි නිදිමත හඬ හරි නෙමේ . එයා මේ හෙම්බිරිස්සා කටහඬින් කතා කරනවා මම අහලා තියෙන්නෙ හරි අඩුවෙන්. මං අනික් පැත්ත හැරුනා.
ඒ ඉඩමට දූනගහ වත්ත කිව්වට එකෙ තිබුනෙ රබර්. දූන කියලා ගස් වර්ගයක් තිබුණද කියලා මම දැනන් හිටියෙ නෑ. ඉස්සර ඒක නොබෙදපු අක්කර දොලහක තනි රබර් වත්තක්. මහප්පයි, බාප්පල දෙන්නයි, තාත්තයි හිටියට රබර් වත්තෙ වැඩ සිද්ද වුනේ අපේ ආච්චිට ඕනෙ විදියට. අපි පොඩිම කාලෙ සිරිපාල බාප්පා අපිට රබර් ඇට වලින් හුළං පෙති හදලා දෙනවා මට හොඳට මතකයි. මහ වෙලේ අරින සරුංගල් නූල් කැඩිලා ඇවිත් ගොඩක් වෙලාවට නවතින්නෙ දූනගහ වත්තෙ රබර් අතු උඩ. බාප්ප ගස් නැගලා අරන් දෙන සරුංගල් අපි වෙනින් පාට සව් කඩදාසි අලෝලා ආයෙමත් මහ වෙලේම උඩ අරිනවා උදේට රබර් අතු අස්සෙන් ඉර එළිය ගලන්නෙ පතුරු පතුරු වලට බෙදිලා. ඒ එළි පතුරු එක්කො රත්තරං පාටයි, නැත්තං ඇස් නිලංකාර කරවන තරං සුදුයි.ඒකෙ පුදුම ලස්සනක් තිබුනෙ.රබර් ගසුත් මාසෙන් මාසෙට එක එක විදියයි. පෙබරවාරි කොළ නිවාඩුවට ගස් හෙළුවෙන්. ඒ කාලෙට රබර් ගස් හොල්මං වගෙයි. ටක ටකස් ගගා රබර් ගෙඩි පුපුර පුපුර රබර් ඇට හැලෙනවා. දුඹුරු පාටට පොළවෙ අඟල් තුන හතරක් උසට වෙලිච්ච රබර් කොළ තට්ටුව. ගමේ ගෑනු රබර් දර අහුලන්නෙ ඔය කාලෙට. වේලිලා වැටෙන හීන් රබර් කෝටු එකට තියලා පෝර වැල් පොටකින් බැඳන් එයාලා යනවා. ඒ කෝටු වලින් බැදුමක් බදින්න, මැල්ලුමක් මලවන්න වගේ පොඩි පොඩි උයමං මිසක් ලොකු උයමං කරන්න බැහැ, සුරුස් ගාලා ඉක්මනට පත්තු වෙලා ඉවර වෙන නිසා. කොළ නිවාඩුවට අපි පෝර උර අරන් ගිහින් රබර් ඇට එකතු කරනවා. වෙනම උරේකට රබර් ගෙඩි වල කටු එකතු කරනවා. ඒ කටු පොල් කටු වගේ දරට ගන්නවා.රබර් ඇට කිලෝ ගාණට බාග ලොරියකින් එන වෙලෙන්ඳෙක් සල්ලි වලට ගන්නවා. ඒ ඇට වලින් මොනවා කරනවද කියලා තවම මම දන්නෙ නෑ.තෙල් හිඳිනවා කියලා තමා කියන්නෙ. ඒත් ඒ තෙල් මොනවට පාවිච්චි කරනවද කියලා දන්නෙ නෑ. අවුරුද්ද ලබනකොට ආයෙ රබර් ගස් දලු දාලා. මුලින්ම එන්නෙ තද රතු පාට ගින්දර වගේ දලු. ඊළඟට ඒවා දිලිසෙන අලු පාටකට හැරෙනවා. ළා කොළ පාට වෙලා අන්තිමට තමා අර දීප්තිමත් තද කොළ පාට වෙන්නෙ. හැලෙන්න කිට්ටු වෙනකොට ඒවා කහ පාටයි. ටික දවසකින් ඒවා තැඹිලි පාට වෙනවා. ජනවාරි අග ඒ තැඹිලි පාට, කහ පාට රබර් කොළ සර සර ගගා හැලිලා හුළඟෙ පා වෙනවා. රබර් අතු අස්සෙන් තැඹිලි පාටට ඉර නගිනකොට, බහිනකොට මොකක්දෝ පාලුවක් හිතෙනවා.
දූනගහ වත්ත ගැන හිතනකොට මට ගෑනු හතර දෙනෙක්ව ඔළුවට එනව. ඒ අපේ ආච්චි, සබීතා පෙරේරා, වීරෙ නැන්දා, මල්කාන්ති.
ආච්චිව මතක් වෙන්නෙ ඒ රබර් කෑල්ලට අධිගෘහිත නාකි දේවතාවියක් වගේ. හීතල පින්නෙ පරණ අත් දිග පිරිමි ෂර්ට් එකක් ඇඳන් කිරි බාල්දියයි පිහියයි අරන් ආච්චි කිරි කපන්න යනවා මට අද වගේ මතකයි. පෙලක්දාට මායි තමරක්කයිත් ආච්චිගෙ පස්සෙන් යනවා. "මේ කිරි කැපිල්ල හැමෝටම කරන්න බෑ බං, ගහට ආදරේ පාන්න ඕනෙ, නැත්තං ගහ කිරි හංගනවා... ආච්චි පෙලක් දාට කියනවා. අපි බොහොම උන්නදුවෙන් බලන් ඉන්නවා කිරි කැපීමේ තාක්ෂණය. ඒත් කවදාවත් ආච්චි අපි අතට කිරි පිහිය දුන්නෙ නෑ. ගස් වලට බේත් බඳින කාලෙට ඒ වැඩේ කලෙත් ආච්චිමයි. ආච්චි මැරෙණකම්ම රබර් කිරි කැපුවා. එයා මැරෙණකොට මට අවුරුදු දොලහයි. කිරි කපන්න ගිය ගමන් පොළඟෙක් දෂ්ඨ කරලයි එයා නැති වුනේ. ආච්චිගෙ මිනිය වැලලුවෙත් දූනගහ වත්තෙම කෙලවරක. පස්සෙ ඒ කෑල්ල ගියෙ සිරිපාල බාප්පලට. එයාලා ඒක ඒ කාලෙම වික්කා කියලා සෑහෙන්න හිත් අමනාපකං තිබුනා තාත්තලා බාප්පලා අතරෙ.
ඒ මරණෙන් පස්සෙ ඉඩම බෙදන හැටි ගැන කාලයක් කට්ටිය අතරෙ වාද විවාද තිබුණා. ඒ කාලෙ කිරි කැපුවෙ වීරෙ නැන්දා. එයා අපේ දුර නෑයෙක් කිව්වට නෑකම මොකක්ද කියලා මම දැනන් හිටියෙ නැහැ. වීරෙ නැන්දා කපන කිරි වල ආදායම බෙදිච්ච හැටි ගැනත් පොඩි පොඩි ආරවුල් තිබුනත්, එයා සෑහෙන කාලයක් කිරි කැපුවා. ඒ නැන්දා බැඳලා හිටියෙ වීරෙ මාමව නිසා කවුරුත් එයාට කිව්වෙ වීරෙ නැන්දා කියලා.
වීරෙ නැන්දා ගැන එක සිද්දියක් මට හොඳට මතකයි. ඒ මතකෙ කොන්ද දිගේ ගලන හීතල වතුර පාරක් වගේ. ඒක වුනේ ආච්චිගෙ තුන්මාසෙ දානෙටත් කලින්. එදා දවල් මම රබර් වත්තට ආවෙ ඔට්ටපාලු ටිකක් ගලවන්න. ඔට්ටපාලු හිරට ඔතලා හදන බෝල වලින් තමා අපි මහ වෙලේ එල්ලෙ ගැහුවෙ. ඒ බෝලෙ කිස් කනවා. පාරක් වැදුනොත් ඉතින් දුම් පිටවෙනවා. මං ඔට්ටපාලු ගලවද්දි වීරෙ නැන්දා කිරි බාල්දිය අඬව අඬව ආවෙ කිරි අකුලන්න.එයා මාව දැක්කද නොදැක්කද කියලා මට තාම නිච්චියක් නෑ. ඒත් මගෙ හිත කියන්නෙ එයා මාව නොදකින්න ඇති කියලයි. වීරෙ නැන්දා කෙරෝලක ඉඳලා කිරි ඇකිලුවා.එදා ටිකක් බීරිං කරපු දවසක්. වීරෙ නැන්දා ඇඳන් හිටියෙ දම් පාට ලොකු මල් චීත්තෙකුයි, සුදු බ්ලවුස් එකකුයි. ගස් දෙක තුනක කිරි අකුලපු නැන්දා එක පාරටම පාත් වෙලා චීත්තෙ උස්සලා මුත්‍රා කලා. චීත්තෙ සෑහෙන්න ඉස්සුන නිසා පිටිපස්සෙන් මට හොඳට එයාගෙ තට්ටං පෙනුනා. තණකොළ උඩට මුත්‍රා වැටෙන සද්දෙ පවා ඇහුනා. ඒ මුත්‍රා පාර හොඳට තදට , බලගතු විදියට පොළවට විද්දා. මට කෙළ ගිලුනෙත් නෑ. පොඩි කෙල්ලො ඔය වැඩේ කරනවා දැකලා තිබුනට මහ ගෑනියෙක් ඕක කරනවා දැකපු පලවෙනි වතාව ඒ. මොකද්ද වෙන්නෙ කියලා හරියටම ඒ කාලෙ තේරුමක් නැතත් මගෙ අවයව පණ පිහිටනවා මට දැනුනා. ඒ තප්පර කීපෙ මහ පුදුම තප්පර කීපයක්. මට දැනුනෙ සිහි නැතුව මාව වැටෙන්න යනවා වගේ. මං රබර් ගහකට හේත්තු වෙලා ඒකට මගෙ ඇඟ තියලා තද කලා. වීරෙ නැන්දා මාව දකී කියන බයත් තිබ්බ හින්දා මං හිටියෙ මුවා වෙලා. වීරෙ නැන්දා මොකවත් වුනේ නෑ වගේ ගහෙන් ගහට කිරි අකුලං ගියා. හදිස්සියෙම මං දැක්කා මගෙ කකුලෙ ඇඟිලි කරුවක කූඩැල්ලෙක් එල්ලිලා. ඌ ලේ බීලා බීලා ඉදිමිලා. මම වේලිච්ච රබර් කොළේකින් ඌව ඇදලා දැම්ම පාර එතනින් ලේ විද්දා. මම එහෙම්ම රබර් මුල ගාව වාඩි වුනා.මං දැනන් හිටියෙ නෑ ඒ පණ පිහිටපු දරදඬුවත් එක්ක මොනවා කරන්නද කියලා. මගෙ අත එතෙන්ට ගියා. එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට මං තනියෙන් සතුටු වුනේ. ඒ හිරි වැටිල්ලට මං ආසා වුනා වගේම ඒක මාව සෑහෙන්න බය කලා. මට මහ කිලුටු කාලකණ්නි කමක් දැනුනා. එදා මං එල්ලෙ ගහන්න ගියෙ නෑ. පල්ලෙහා ලිඳට ගිහින් අත් දෙක රිදෙනකම්ම වතුර ඇද ඇද නෑවා. මාව රතු වෙනකම්ම පොල් මුඩ්ඩකින් හොඳට ඇඟ ඇතිල්ලුවා. ආයෙ ආයෙමත් වීරෙ නැන්දා කිරි අකුලන වෙලාවට මං එයාට නොපෙනි කොහෙ හරි රැකං හිටියට මම බලන්න හිටිය දේ මට දකින්න වුනේ නෑ. මං පෙලක් දාට වීරෙ නැන්දා මුත්‍රා කරපු තැනට ගිහින් බලනවා. එතන පස් වල සුවඳ බලනවා.
ඔය ඉඩ කඩං කතා බස් නිසා වීරෙ නැන්දලා ඒ දවස් වල අපේ ගෙදර ලොකු උදවියත් එක්ක වැඩි කතා නෑ. අපි එක්ක උනත් එහෙමට ලොකු කතාවක් තිබුනෙ නැති නිසා මට කවදාවත් වීරෙ නැන්දත් එක්ක හරියට කතා බස් කරන්න ලැබුනෙ නෑ. අනික එයාව මුණට මුණ මුනගැහිච්ච ගමන් මගෙ කටේ කෙල හිඳිලා දනිස් පණ නැතිවෙලා මට මොකද්දෝ වෙනවා. ඉතින් මම කරන්නෙ පුලුවන් ඉක්මනින් එතනින් මාරු වෙන එක. එදා සිද්දියෙන් පස්සෙ මට දැනුනා තවදුරටත් මං සරුංගල් පස්සෙ දුවන පොඩි එකා නෙමේ කියලා. වීරෙ නැන්දා මගෙ හීන වලට ආවෙ මහ විසාල පපුවක් තියන තෙත බරිත යකින්නක් විදියට. ඒ යක්ෂනී මගෙ හීන වලදි මාව රබර් ගහකට තියලා හේත්තු කරලා නොමරා මැරුවා."තොපේ මහ එවුන් මේ ඉඩං තනියෙන් අයිති කර ගන්න නේද දත කන්නෙ ?" කියල මට දස වද දුන්නා. ඒවා අමුතුම තාලෙ වද. ඒ හීන වලින් මම බය වුනත්, මගෙ සරම තෙමුනත් එවා ආයෙ ආයෙ පේනව නං කියල මට හිතුනා. ඒත් හැබෑවටම ඒ ගෑනි හතර පෝයට සිල් ගන්න නිවිච්චි ගෑනියෙක්. අපේ අම්මලා නැන්දලට තරං සද්ද කටක්වත් වීරෙ නැන්දට තිබුනෙ නෑ.ඒත් මට හිතා ගන්න බැරි තරමටම මගෙ හීන වලට එන වීරෙ නැන්දා දරුණුයි.
වීරෙ මාමට පොල් වත්තක මුර වැඩක් හම්බවෙලා ඒ පවුලම ඒ කාලෙ ගමෙන් ගියා. මට ඒක දරන්න බැරි පාලුවක් වුනා. මං හවස් අතේ රබර් කෑල්ලට ගිහින් ඔහේ බලං ඉන්නවා. පොළවටම දිරලා නාරටි බේරිච්චි රබර් කොළ ගෙනත් පොත් අස්සෙ දා ගන්නවා. ඒ කාලෙ මට රබර් කඳන් මතුපිටේ වැවිච්ච පෙඳ පාසි වලින් අමුතු අමුතු රටා පේනවා. ගෑනු මූණු, තුවක්කු, බල්ලො වගේ එක එක හැඩතල. වීරෙ නැන්දා නැති නිසා කිරි කැපිල්ල ටික දවසකට අත් ඇරුනා. පස්සෙ කිරි කැපිල්ලට ආවෙ මිසි නෝනා කියලා නාකි අම්මන්ඩියක්. ඒ ගෑනි ගස් තුවාල කරනවා, කැපිල්ල හරි නෑ කියලා අම්මල ඒ දවස්වල බනිනවා මට මතකයි.

දෙවෙනි ගමන චිත්‍රපටිය පෙන්නුවෙ අපි දහයෙ පන්තියෙ ඉන්දැද්දි.අපි ඒක බැලුවෙ පාට කමිස ඇඳන් ගිහින් ඉස්කෝලෙන් කට්ටි පැනලා. ඒකෙ එක තැනක තියනවා සබීතා පෙරේරා රබර් වත්තක් වගේ තැනක බිම මුනිං අතට නිදාගෙන කකුල් දෙකත් ටිකක් උස්සල බොහෝම දඟ විදියට වන වන සනත් ගුණතිලකත් එක්ක කතා කර කර ඉන්න සීන් එකක්. ඒක කොළ නිවාඩු කාලෙට අපේ රබර් වත්ත වගේමයි. මං දෙවනි ගමන අට පාරක් බැලුවා. ඒකෙ සනත්ගෙ පැත්තෙ නාකි උඩඟු ගෑනු ටික ගැන පුදුම වෛරයක් මගෙ හිතට ආවෙ අර අහිංසක සබීතට දෙන වද වලට. ඒ කාලෙ මගෙ රෑ හීන වලට ආවෙ වීරෙ නැන්ද නෙමේ සබීතා. ඒ ආවෙ වීරෙ නැන්දා වගේ යක්ෂ විදියට නෙමේ බොහෝම අහිංසක කෝමළ විදියකට. එයා රබර් කොළ ගොල්ලෙ පෙරලුනා. අපි රබර් ගස් අස්සෙ හැංගි මුත්තං කලා. එයා රබර් කඳන් අස්සෙන් එබිලා හීන් හිනාවක් පාලා කොණ්ඩ කරල් දෙක වන වන පිටිපස්ස බල බල හිනා වෙවී දිව්වා. මගෙ ඔළුව එයාගෙ උකුලෙ තියාගෙන රබර් කොළ ගොල්ලෙ වාඩි වෙලා මගෙ කොණ්ඩෙ අත ගෑවා. අන්තිමට අපි එහෙම්මම වැතිරුනා.
සබීතා මගෙ හීන වලට ආවෙ මල්කාන්ති මුණගැහෙනකන් විතරයි. (ඒත් පස්සෙ කාලෙක සබීතා ආයෙමත් මගෙ හීන වලට රිංගන්න ගත්තා). ඒක වුනේ අහම්බෙන්. දවසක් මම හවස හයට විතර ගල් පොත්ත හරියට වෙන්න තියන රබර් ගහකට හේත්තු වෙලා ඇඟ හිරි වැටෙන ඒ වැඩේ කරමින් හිටියා. මගෙ ඇස් පියවිලා තිබුනෙ.ඒ වෙලාවට ඒ හරියට එන්න කිසිම කෙනෙකුට හේතුවක් තිබුනෙ නෑ. ටකස් ගාලා දර කෝට්ටක් කැඩෙනවා පෑගිලා ඇහුනා. එතන හිටියෙ මල්කාන්ති. මාව දැක්කා විතරයි එයා දිව්වා. මට දැනුනෙ මාව මැරෙන්න යන තරම් ලැජ්ජාවක්. මං එහෙම්ම ගෙදෙර දිව්වා. ඒ වෙලාවෙ මල්කාන්තිගෙ මූණෙ තිබුනු ඉරියව්ව මතක් කර ගන්න අදටත් මට බෑ.සෑහෙන දවසක් යනකං යනකං මම පුදුම බයකින් හිටියෙ මල්කාන්ති ඒක කාට හරි කියලා ඇති කියලා. බැරිම තැන මං වෙච්චිදේ එල්ලෙ ගහන්න ගිය වෙලාවක නිමලෙට කිව්වා. ඌ බඩ අල්ලගෙන හිනා වුනා.
"යකෝ උඹ නියම චාන්ස් එකක්නෙ අතඇරලා තියෙන්නෙ...., උඹ නම් මහ ගොනෙක් බං"
ටික දවසකින් මටත් හිතෙන්න ගත්තා මං මහ ගොනෙක් තමා කියලා.මල්කාන්ති කලුයි. උසයි. ඒකි මට වැඩිය අවුරුදක් හරි දෙකක් හරි වැඩිමල් මයෙ හිතේ. එයාට පොඩි බොල්ලෑවකුත් තිබුනා. එත් කැතම නෑ. ලස්සනයි කියලා කියන්නත් බෑ හැබැයි.ආයෙ මං මල්කාන්තිව දැක්කෙ සති ගාණකින්. ඒකි රබර් කෑල්ල අයිනෙ දර එකතු කරනවා. මං ඒ වෙලාවෙ ලාම්පු තෙල් ගේන්න කඩේ යන ගමන්. මං පුලුවන් තරන් ඒ පැත්ත නොබලයි යන්න බැලුවෙ. ඒත් සැරින්සැරේ මට බැලුනා. මල්කාන්ති ලොකුවට හිනා වුනා. ඒක නිකන් මං හොරේ දන්නව කියන ජාතියෙ හිනාවක්. මං අහක බලාගෙන ගියා .
"ඒ.. ඒ.. ඒයි..." මට ටිකක් දුර යන්න දීලා මල්කාන්ති අඬගැහුවා. " මගෙ වේගෙ බාල වුනා.
"මං දැක්කා ඔයා එදා කර කර හිටපු වැඩේ..." මේකි හිකිස් ගගා හිනා වෙවී කියනවා. මං මොකවත් නොකියා ආයෙ යන්න පිටත් වුනා.
" මං ඒක තමරත් එක්ක කියන්නද ?" අපේ අක්කා ඒකිගෙ පංතියෙ හිටියෙ. මගෙ කටට කුණුහරුප වැලක් ආවත් එ ඒවා කටින් එලියට පැන්නෙ නෑ. මොකද කරන්නෙ කියලා දන්නෙ නැතුව මං එහෙම්මම නතර වෙලා බලං හිටියා.
" මං දවස් ගානක් දැක්කා ඔයා ඔය වැඩේට ඔතෙන්ට එනවා...ආයෙ යනවනං අපිටත් අඬගහන්ඩ, අපිත් එන්නං" ඒකි කටේ දිවේ නොගෑවි කිව්වා. මට දැනුනෙ අප්පිරියාවට කලවං වෙච්චි ආසාවක්.පස්සෙ පස්සෙ අපි දිගටම රබර් කෑල්ලෙදි මුණගැහුනා. ඒකිට හරියට දාඩිය දානව. නළලෙයි, උඩු තොල් පටිය දිගෙයි දාඩිය බිංදු බිංදු දිලිසෙන්න ගන්නවා. අනික මල්කාන්තිට තිබුනෙ යක්ෂ කෑ ගැහිල්ලක්. පෙලක් වෙලාවට මට ඒකිට කොනිත්තන්න, එහෙම නැත්තං කම්මුලට පාරක් ගහන්න වෙනවා ඒ බළල් සද්දෙ නතර කරන්න. ඒ කාලෙ මහ ගිනි ගත්තු කාලයක් දවල්ට මං මගෙ හිතට දිවුරගන්නවා ආයෙනං ඒ ජරා බැල්ලිව හම්බවෙන්න යන්නෙ නෑ කියලා. එත් හවසට මගෙ කකුල් ඉබේම ඒ පැත්තට ඇදෙනවා. නිමලෙලා, සුමිත්ලාහිට ඕකිත් එක්ක ඇයිහොඳයි කං තිබ්බ විත්තිය මං දැනගත්තෙ පස්සෙ.
එක දිගට ගොඩක් දේවල් වෙන්න ගත්තා. මල්කාන්තිව මරලා අපේ රබර් කෑල්ලෙම පුච්ච්ලා තිබුනා. ඒක කලේ JVP කලබල පිටින් දාලා සුමිත්ලෑ තාත්තා කියලා හා හූවක් තිබුනා. මල්කාන්ති විතරක් නෙමේ දන්න නොදන්න තව ගොඩක් කොල්ලො කෙල්ලො රබර් වත්තෙ පිච්චුනා. අපි හිටියෙත් හැංගිලා. මං මල්කාන්තිගෙ මිනිය බලන්න ගියෙ නැත්තෙ මට එච්චර හයියක් තිබුනෙ නැති නිසා. හීනෙං දත් විලිස්සගෙන කොණ්ඩෙ වනාගෙන උඩුතොලේ දාඩිය බිංදු දිලිසෙද්දි මල්කාන්ති මගෙ පස්සෙන් පන්නං ආවා . ඒ හීන වලට බයවෙලා ඇහැරෙද්දි මගෙ සරම තෙමිලා තිබුනෙ මුත්‍රා වලින්. සෑහෙන කාලයක් යනකං ඇඳේ මුත්‍රා වෙන එක මට නතර කරගන්න බැරිවුනා. ඇඳිරි වැටුනට පස්සෙ කවුරුවත් රබර් කෑල්ල පැත්තට ගියෙ නෑ. හැමෝම කිව්වෙ හොල්මන් තියනවා කියලා. මල්කාන්ති පාරෙ යන වාහන වලට අත දාලා කොළඹ යන පාර අහනවලු, පුච්චලා මරපු සමන්ත අයියා සිගරට් පත්තු කරගන්න ගින්දර ඉල්ලනවලු. ඔය මොන මොන කතා තිබුනත් මං දවල් වරුවට රබර් කෑල්ලට ගිහින් කාටවත් නොපෙනෙනෙ තැනකට වෙලා ඔහෙ වාඩි වෙලා ඉන්නවා. කලිං නෑහිච්ච රෑහි හඬවල් ඔය කාලෙ මට ඇහෙන්න ගත්තා. පෙලක් වෙලාවට මට ඇඬුනා හරි හේතුවක් දන්නෙ නැතුවම. රබර් අත්තක ලණුවක් පටලෝලා එල්ලෙන්න හිතිච්චි වාරත් අනන්තයි. මං සිගරට් බොන්න පුරුදු වුනෙත් ඔය කාලෙ. ඒ පුරුද්ද තවම මට අත් ඇරගන්න බෑ.
මං පේරාදෙණියට තේරෙනකොටමයි පපුවෙ අමාරුවකින් තාත්තා නැතිවුනේ. මම පේරාදෙණි යන්න බෑ කිව්වත් ලොකු අයියයි අම්මයි බල කරලා කියා හිටියා මං යා යුතුම බව. පේරාදෙණියෙ තිබුනෙත් රබර් වතු ගතියක්. තෙත තණ කොළ, ලොකු හෙවණ ගස්. මං එහෙට කැමති වුනා. මං ඒ ගස් යට වාඩි වෙලා සිගරට් බිව්වා. වැඩිය ගෙදර ගියෙත් නෑ. මගෙ හිතට සාමයක් දැනුනා. මං කවි ලියන්න ගත්තා. ඉරිදා පත්තර පිටු වල ඒ කවි පල වුනා. ඉරිදා සිළුමිණේ කවි පල වුනාම එවා බලලා ගමේ යාලුවො මට ලියුං එව්වා තව හොඳට කවි ලියන්න කියලා. ලොකු අය්යගෙ ලියුං වල තිබුනෙ පිස්සු වැඩ නොකර විභාග ගොඩ දා ගනිං කියලා. මට කෙල්ලෙක් හිටියෙ නැතත් මාව දාල ගිය කෙල්ලෙක් ගැන හිතාගෙනයි මම දිගම දිග කවි ලිව්වෙ . බුලත්සිංහලෙන් ඇවිත් හිටපු මඩාට ඕනෙ වුනේ ලොකේ දිගම නවකතාව ලියන්න. JVP කලා කියලා උන්ගෙ තාත්තව මරලා තිබුනා. උගෙ ඔළුගෙඩිය එක එක කතන්දර වලින් පිරිලා තිබුනු නිසා ඌ ගොඩක් වෙලාවට විභාග ඇන ගත්තා. ඌ කිව්වෙ ඒක අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද කියලා. පාඩුවෙ කැමති පොතක් ගහක් යටට ගිහින් කියවන්න නොදෙන, හරියට කවියක් ලියාගන්න නොදෙන අධ්‍යාපන ක්‍රමේට මාත් වෛර කලා. තුන් වෙනි අවුරුද්දෙදි තමා මට මේනුව හම්බවුනේ. මේනු මහවෙ. එහෙ රබර් වතු නෑ කියලා එයා කිව්වා. මේනුයි මම රබර් වතු ගතියක් තියන අහුමුලුවල හම්බවුනත් එයා හුඟක් පරිස්සම් ළමයෙක්. එයාට ඉලක්ක තිබුනා. එයාට ඕනෙ උනේ කවදා හරි පේරාදෙණියෙම උගන්නන්න. එයාගෙ අකුරු රවුම්. ලස්සනයි. අනික එයාට හොඳට මතක හිටිනවා. මම අවුට් වෙනකොට එයා ස්පෙෂල් එකක් කරනවා . එතකොට හැමදේම වතුර වගේ දියාරු වෙලා. එයාට වැඩ තිබුනා. යාලුවො හිටියා. මට වගේ ගස් යට ඉඳන් කවි ලියන්න එයාට වෙලාව තිබුනෙ නැහැ.
අවුට් වෙලා මං ගෙදර එනකොට රබර් ගලවලා, ඉඩම බෙදලා. අපිට දුන්නු කොටස මදි, බෙදිල්ල අසාදාරනයි කියලා අම්මා තිස්සෙම කියෙව්වා. අපේ කොටසෙ රබර් දරට විකුනලා, ගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනත්. මගෙ පපුව හෝස් ගාලා ගියා රතු පස් මතුවෙච්චි ඉඩම දැකලා. මාව බාගෙට මැරුණා. තැන් තැන් වල ඉතුරු කරපු රබර් ගස් ගාවට ගිහින් මං ඒවා අත ගෑවා. මට ආයෙ පේරාදෙණි යන්න ඕනෙ වුනත් එහෙ කිසි කෙනෙක් මං එනකන් බලන් හිටියෙ නෑ. ගම තවදුරටත් ගම වුනෙත් නෑ. මං ඒ කිසි තැනකට අයිති වුනෙත් නෑ. අපේ කොටස ආයෙ තුනට බෙදලා තමරක්කා එයාගෙ අක්කර කාල දෑවැද්දට අරන් බැන්දා.එයාල ඒක වික්කෙ බැන්ද අලුතමයි. අයියත් බැඳලා ගියාම අම්මා අක්කලගෙ ගෙදර ගියා. මට තිලිණිව හම්බවුනේ තුම්මෝදර ඉස්කෝලෙ උගන්නද්දි. එයා ඉගැන්නුවෙ ගණං ,මම සිංහල. එයගෙ ගම වැල්ලම්පිටියෙ. එහෙ රබර් වතු නෑ කියලා එයා නොකිව්වත් ආශ්‍රය කරන්න අරං ටික දවසකින් මට තේරුණා. මට ඕනෙ වුනේ ඔය පාදුක්ක පැත්තෙ රබර් වත්තක් ගාවට මෝටසයිකලේ ගිහින් කතා කර කර ඉන්න. එයාට ඕනෙ වුනේ චිත්‍රපටියක් බලන්න යන්න හරි, හංවැල්ල ටවුන් එකේ සාරි තෝරන්න යන්න හරි.
අපි බැන්දට පස්සෙත් මම සැරි සැරේ තනියම පාදුක්ක පැත්තෙ විසාල රබර් වත්තක් ගාවට ගිහින් ටික වෙලාවක් ඔහෙ වාඩි වෙලා ඉන්න පුරුදු වුනා. කොච්චර කලත් ඒක වෙනම විදියක සැනසීමක්. චූටි පුතාට මම රබර් ඇට හුළං පෙති හදලා දෙනවා එහෙම ගිය වෙලාවට අහුලං එන රබර් ඇට වලින්. කොල්ලට ගානක් නෑ. ඌ ටික වෙලාවක් සෙල්ලන් කරලා ඔහෙ දාල යනවා. එයා කැමති සෙල්ලන් කාර් වලට.


ඉසුරු චාමර සෝමවීර

Friday, April 8, 2011

Kiranchi


කිරාංචි

කිරාංචි

හැම දේම සුදු පාටයි. බිත්ති, සිවිලිම, කොටිටෙ, ඇඳ රෙද්ද මේ හැම දෙයක්ම සුදු පාටයි. ඇඳ ළඟ ටීපෝ එක උඩ වතුර වීදුරුවක් සුදු පාට පීරිසියකින් වහලා. හැම දෙයක්ම විකාර විදියට පිරිසිදුයි, පිළිවෙලයි. සුදු පාට ජනෙල් රෙද්ද ජනේලෙන් එහා දේවල් මගෙ ඇස් වලින් හංගනවා. කාලයක් මං සුදු පාටට හිස් නිදහස් ඉඩට හුඟක් ආසා වෙලා හිටියා.

මගෙ කාමරේ කැලැන්ඩරයක්වත් එල්ලන්න මං කැමති වුණේ නැහැ. ඒත් දැන් ඒ සුදු පාට හිස් ඉඩ මට මහ වෙහෙසක් ගේනවා. ඔළුව ඇතුලෙ එක එක සද්ද මහ ගොඩක් දෝංකාර දෙනවා වගේ දැනෙනවා. ඒක වචනෙට ගන්න බැරි වේදනාවක්. උදේ මගෙ බෙහෙත් වේල ගත්තත් උණ අඩුවෙලා තිබුණෙ නැහැ. මගෙ කට ඇතුළෙ මැළියම් තට්ටුවක් බැඳිලා, කට තිත්තම තිත්තයි. නින්දත් නොනින්දත් අතරෙ පේන විකාර ඔළුවෙ බර ගතිය වැඩි කරනවා . මට අඬන්න ඕනෙ. කෑ ගහන්න ඕනෙ. මේ ජරා උණ වසංගතෙන් මාව මැරිලා යයි කියලා ලොකු බයක් හිතට එනවා. ඔක්කොටම වැඩිය දරන්න බැරි ඔළුව ඇතුළෙන් එන වේදනාව.

ඒක දූපතක්. මම හිතන්නෙ කිරංචි වල සිවපුරව් වෙරළට පේන දූපත. ඒ හීනෙ වටිටක්කා, වම්බටු, පතෝල, මෑ වැවිච්ච සාරවත් වගාවක් තිබුණා කියන්න මට හොඳටම මතකයි. තද කොළ පාට විසාල වටිටක්කා කොළ එක යායට හුළඟට පැද්දුනා. ඒවයෙ පිණි බිංඳු ඉර එළියට දිලිසුනා. දම් පාට ලොකු වම්බටු ගෙඩි වල කොළ පාට හීන් පනුවො ඇවිද්දා. කහපාට වට්ටක්කා මල් අතරෙ මී මැස්සො පියෑඹුවා. මමයි කෝප‍්‍රල් සමන් කුමාරයි බොලොක් ගල් වලින් බැඳපු, කපරාරු නොකරපු පොඩි ගෙයක් ඉස්සරහපිට ඉඳන් අපේ වගාව දිහා බලන් හිටියා. අපේ ඇස් දිලිසුනා. කෝප‍්‍රල් සමන් කුමාරගෙ මුණෙ තිබුණෙ මහ වල් දඩයක්කාර හිනාවක්. මගෙ මූණෙත් ලොකු හිනාවක් තිබුණා. කෝප‍්‍රල් සමන් කුමාර ජින්නා, මම උපාලි ගිනි වැල්ල. ඒක වචන වලින් කතා නොකලට ඒ හීනෙ අපි දෙන්නා උපාලියි ජින්නයි කියලා මට දැනුනා. පොඩි ළමයි වගේ නෙමේ මේ දැන් ඉන්න විදියටමයි අපි ඒ හීනෙ හිටියෙ. අපි දෙන්නගෙම මූණු වල ලාවට රැුවුල් කොට වැවිලා තිබුණා. අපේ ගෙදර බැල්ලි බ්ලැකී හෙළවෙන වට්ටක්කා කොළ ගොල්ලක් දිහාවට බුරමින් හිටියා. සමන්ගෙ ඇස් හීන් වුණා.

"ඉත්තෑවෙක්, ඕකුං අපේ වගා කාබාසිනියා කරනවා."

සමන් මගෙ කන ළඟට එයාගෙ ලොකු තොල් තියලා මිමිණුවා. සමන් තුවක්කුව ඇහැ ළඟට තියලා, ඇහැ හීන් කරලා කුරුමානම් ඇල්ලුවා. ඌ ඉත්තෑවෙක් නෙමේ හාවෙක්. ලොකු වට්ටක්කා කොළ උඩ ලේ බිංදු ඉහිලා. සමන් දඩයං දත් පේන විදියට ලොකුවට හිනා වුනා. මමත් හිනා වෙවී හිටියා කියන්න මට මතකයි. ඌ සෑහෙන්න විසාල අඳුරු පාට හාවෙක්. ඊට පස්සෙ හීනෙ කොටසක් අපැහැදිලියි.

ඊළඟට අපි හිටියෙ වෙරළක. ඈතින් හඳ එළියෙ මුහුද සන්සුන් විදියට නැළවුණා. අපි දෙන්නා එක ළඟින් වැතිරිලා හිටියා. තරමක ගිනි මැලයක් අපි ඉස්සරහ පට පට ගගා ඇවිලුනා. මං හිටියෙ රොබින්සන් කෲසෝගෙ කතාව සමන්ට කියලා දෙමින්. මගෙ රොබින්සන් කෲසෝ කතාවෙ ෆ‍්‍රයිඩේ හුඟක් කඩවසම් මිනිහෙක්. රොබින්සන් කෲසෝයි ෆ‍්‍රයිඩෙයි ජීවිත කාලෙම ඒ දූපතේ ඉන්න තීරණය කරනවා. මොකද ඒ දෙන්නට ඕනෙ විදියට ජීවත් වෙන්න ලෝකෙ කිසිම තැනක ඉඩක් නැහැ. ඒ දෙන්නා මිලේචිඡයොත් එක්ක සටන් කරනවා. කොටින්ම ෆ‍්‍රයිඩේ තමන්ගෙ නෑයන්ව මරනවා රොබින්සන් කෲසෝ වෙනුවෙන්. කෲසෝ තමන්ගෙ රටට අයිති නැව් දකිනකොට හැංගෙනවා. එයාලා වවනවා, එකට පීනනවා, දඩයම් කරනවා, සද්දෙට පිරිමි හඩින් හිනා වෙනවා. සමන් මගෙ ඇස් වලට එබිලා බලනවා. ඒ ඇස් තෙතයි, දිලිසෙනවා. එයාගෙ ඇඟ හරිම උණුසුම්. ලාවට රස්නයක් තියන වෙරළෙ වැලි තලාව උඩ අපි පෙරලෙනවා. සමන්ගෙ කොණ්ඩෙ තැවරිච්චි වැලි මම පිහදාන කොට සමන්ගෙ ඇස් වලට බැරෑරුම් පෙනුමක් එනවා. අපිට තව කී දවසක් මේ විදියට මේ දූපතේ ඉන්න ලැබෙයිද? අපේ උන් කොයි වෙලේ මේකට කඩාපාත් වෙයිද දන්නෙ නෑ. මම පාත් වෙලා සමන්ගෙ නළල ඉඹිනවා. එතකොට එයාගෙ ඇස් හීන් වෙනවා. එයා බිබී හිටපු සිගරට් එක සමන් මට දෙනවා. අපි උඩ බලාගෙන මාරුවෙන් මාරුවට සිගරට් එක උරනවා .

"අරක ඔරායන්, අර පේලියට තියන තරු තුන, ඔරායන්ගෙ බෙල්ට් එක."

සමන් මගෙ අත දිගේ තරු බලන ගමන් එක අතකින් මාව අත ගානවා. මාව ගිනියං වේගෙන එනවා.

"හපෝ තමුසෙ දන්න දේවල්, තරුයි , මාළුයි, ඉංගී‍්‍රසියි, දෙමළයි, හැම කෙහෙල්මල ම දන්නවා"

මටයි සමන්ටයි දෙන්නට ම හිනා යන්නෙ එකටමයි.
"මං වෙඩි තියන්න දන්නෙ නෑ, වගා කරන්න දන්නෙ නෑ" මම කියනවා.

"ඇයි මම උපාලි ගිනිවැල්ලෙ නොවී ජින්නා වුණේ ?"
සමන් එක පාරටම ඇහුවම මම අනිත් පැත්ත හැරිලා. සමන්ව තදින් බදා ගත්තත්, සමන් මාව තල්ලු කරනවා.

"තොපි ඔක්කොම එකයි, තෝත් මාව රවට්ටනවා. කියපිය තෝත් මාව රවට්ටනවා නේද?"

සමන්ගෙ දඩයං දත දිලිසෙනවා. මමත් සමන්ව තල්ලු කරනවා.
"උඔලා තමා රවට්ටන්නෙ, මට හැමදාම වුණේ රැවටෙන්න,"

අම්මා විනාකිරි පොඟොපු රෙදි කෑල්ලක් මගෙ නළලෙ එලනවා. ඒ රෙදි කෑල්ල සීතලයි.

"කැඳ ටිකක් ගේන්නද?"

"එපා, බොන්න බෑ, කට අප්පිරියයි"

"සැරට ලුණුමිරිසක් හදල පාන් කෑල්ලක් කමු, දැන් තියෙන්නෙ අසත්තිය. දවස් හතරකින් ඇඟට හරි හමන් කෑමක් වැටුණෙම නෑනෙ"

"කන්න බෑ, කට තිත්තයි අප්පිරියයි"

"එහෙම කියලා හරියන්නෙ නෑනෙ, එහෙනං ආයෙ හවසට දොස්තර මහත්තයා ගාවට යමු"

මම මුකුත් නොකියා රෙද්දෙන් මුණ වහ ගන්නවා. එතකොට අඳුරුයි. ආලෝකෙට දෙන්න බැරි සුවයක් පහසුවක් අන්දකාරෙ මට දෙනවා. අන්දකාරෙ ඇතුළෙදි කිසිම දෙයක් සුවිශේෂ නැහැ. කිසිම දෙයක් කැපිලා පේන්නෙ නැහැ. කිසිම දෙයක් දිහා බලන්න කියලා අපේ ඇස් අපිට බල කරන්නෙ නැහැ. ආලෝකෙ අරන් එන්නෙ නැති සිසිලක් පහසුවක් අන්දකාරෙ ගේනවා. රෙද්දෙන් ඔළුව වහ ගත්තම මට අම්මව පේන්නෙ නෑ. ඒත් එයා එතන ඉන්නවා කියලා මට තේරෙනවා. ටිකකින් එයා යනවා මට ඇහෙනවා. ආයෙමත් එළියට නිරාවරණය වෙන්න මට ඕනෙ නැහැ. මම රෙද්ද ඇතුළෙ ගුලි වෙනවා. ඔළුව එකම විදියට තියාගත්තම පහසුයි. එහාට මෙහාට හැරෙනකොට මගෙ සමතුලිතතාවෙ බිඳිලා ගිහිල්ලා විසාල ප‍්‍රපාතෙකට ඇදගෙන වැටෙනවා වගේ බයක් වේදනාවක් හිතට එනවා. නොහෙල්ලී මං අන්දකාරෙට ඇහුන්කන් දෙනවා.

මං යශෝධරන්ගෙ ගෙදරට ගියෙ තිලිත් එක්ක. තිලීබන් කියන නම කෙටි කරලා අපි හැමෝම එයාට කිව්වෙ තිලී කියලා. ඒ මම කිරාංචි ආව පළවෙනි වතාව. ඒ පාර අපි කිරාංචි ගියෙ මන්නාරාමෙන් විඩතලදිව් පහු කරලා වෙල්ලන්කුලම් වලින් හැරිලා මුලන්කාවිල් හරහා. කිරාංචි වල ඒ විසාල වගුරු බිම හරහා යද්දි මට මොකද්දො මහ අමුත්තක් දැණුනා. ඒක අහසට නිරාවරණය වෙච්ච මහ විසාල තැනිතලාවක්. ඒ මහා වගුර වේලිලා තිබුණෙ. වතුර ඉතුරු වෙලා තිබුණු තැන් තැන් වල එක එක වර්ග වල කොක්කු මාළු අල්ලමින් හිටියා. මට ඒ වගුරෙ පිංතූර ටිකක් ගන්න ඕන වුණත් කටිටිය චුරු චුරු ගාන්න පටන් ගත්තා. හැමෝටම ඕන වුණේ වැඩ ටික ඉක්මනට ඉක්මනට ඉවර කරලා කරුවල වැටෙන්න කලින් මන්නාරමේ අපි නතර වෙලා හිටපු හෝටලේට යන එක. යුද්දෙ ඉවරයි කිව්වට පහුගිය දවස් ටිකේ එහෙ මෙහෙ ගිය ටිකට අපිට දැනේනන පටන් අරන් තිබුණා අපි මේ කරක් ගහන්නේ වෙනම ම ලෝකෙක කියලා.

කිරංචි සිවපුරම් වල අපි මුලින්ම ගිය ගෙදර රෝස පාට පතුරු ගිය තනි බිත්තියකට පොල් අතු යාලත්තක් බාලා හදපු පොඩි පැලක. මිදුලෙ තුලාසි පඳුරක් වවලා. පැත්තක සමන් පිචිච පැලේ පීදිලා කියලා, හොඳට අතුගාපු මිදුලට ඇතුල් වෙනකොටම එන සුවඳින් දැණුනා. තිලී ඉස්සර වුණා වීඩුකාරෙංග? උච්චාරණේ හරි නැති වුණාට තිලී ඉන්දෙද්දිත් මම එහෙන් මෙහෙන් වැරදි දෙමළ කියෙව්වා. ඒ ගෙදර හිටියෙ කහ පාටට හුරු තැඹිලි පාට කිළුටු සාරියක් ඇඳ ගත්ත අම්මා කෙනෙකුයි, උස හීන්දෑරි කෙල්ලෙකුයි.

"අපි ....... විශ්ව විද්‍යාලෙන්, කිරාංචි කලපුවෙයි, වගුරු බිමෙයි, ඉන්න මාළු වර්ග ගැන පරීක්‍ෂණ වගයක් කරන්නයි යන්නෙ, ඒ වැඩේට අපිට ඔයාලගෙ උදව් ඕනා. අවුරුදු ගානකින් මේ පැත්තෙ ඉන්න මාළු ගැන කව්රුවත් පරීක්‍ෂණ කරලා නෑ. අපි විශේෂයෙන්ම හොයන්න බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියනවා. එකක් තමා කලපු වතුරෙ මේ පැත්තට ආවේනික දැල්ලන් විශේෂ මොනවද කියන එක, අනික කිරංචි කලපුවෙ මාළුන්ගෙ ඇඟේ තියන රස දිය ප‍්‍රමාණ මනින එක. මේක අවුරුද්දක් විතර යන විශේෂ ව්‍යාපෘතියක්."

තිලී ලොකු ලස්සන හිනාවක් එක්ක දෙමලෙන් කියා ගෙන කියා ගෙන යනකොට අර අම්මයි, හීන්දෑරි කෙල්ලයි හිස් බැල්මකින් අපි දිහා බලන් හිටියා .

ඒ මුණු හිස්. ඒවයෙ සතුටක්වත්, වේදනාවක්වත්, අඩුම තරමෙ කිසිම දෙයක්වත් ඇඳිලා තිබුණෙ නැහැ. මිදුලෙ මල් හිටවන්න ඇත්තෙ ඒ දෙන්නා නෙමේ වෙන්න ඇති කියලා මගෙ හිත මට කිව්වා. යාපනෙන් ආපු තිලීගෙ මුණෙ මොට්ට පාට හිනාවක් ඇඳිලා තිබුණා. ඊළඟට කරන්නෙ මොකක් ද කියලා හිතා ගන්න බැරුව අපි මෝඩ විදියට හිටගෙන හිටියා.

"යං මහත්තයා" තිලී මගෙ කනට කෙඳිරුවා.

ඒ අම්මගෙ ඇස් වලින් එක පාරටම මොකක්දෝ තෙතක් දිස්නයක් කාන්දු වෙන්න ගත්තා. හැමදෙයක්ම හරි ඉක්මණට වුණේ. ඒ අම්මගෙ මූණෙ මහ විසාල හිනාවක් ඇඳුණා.

"යශෝ, යශෝ , එල්ලුඩය මගන්"
කෙල්ලගෙ ඇස් ලොකු වුණා. ඒකි තදින් අම්මගෙ අත අල්ල ගත්තා.

"අම්මා, අවන් යශෝ ඉල්ෙලෙ" ඒකි කෙඳිරුවා.

අම්මා එකපාරටම ඇවිත් මගෙ අතක් එයාගෙ අත් දෙකෙන්ම තද කරල අල්ල ගත්තා. මට වෙන්නෙ මොකක්ද කියලා හරියටම තේරුණේ නැතත්, මොකක් හරි මෝඩ චිත‍්‍රපටියක රඟපාමින් ඉන්නවා වගේ දැණුනා. තිලී පැනලා ඒ අම්මගෙ අත ගලවන්න හැදුවත්, තැඹිලි සාරි අම්මා මාව හිර කරලා අල්ලගෙනයි හිටියෙ. කෙට්ටු කෙල්ල හුස්ම අල්ල අල්ල මොනවදෝ වේගෙන් කියෙව්වා. ඒක යාතිකාවක් වාගේ . එහෙන් මෙහෙන් වචනයක් දෙකක් තේරුණත්, ඒකි වේගෙන් කියෝගෙන කියෝගෙන ගිය නිසා මට කිසිම දෙයක් හරියට තේරුණේ නැහැ. තිලී මට ඒකිව පරිවර්තනය කලා. යශෝ එයාගෙ අයියලු. එයා අතුරුදහන් වෙලාලු. තාත්තත් මැරිලලු.

"මැරිලද, මරලද?" මම ඇහුවා.

ඒක අහන්න ඕන නැති තරම් මෝඩ ප‍්‍රශ්නයක් කියලා මට තේරුණේ තිලී මං දිහා බලපු බැල්මෙන්. යශෝ කොයි වෙලේ හරි එයි කියලා මේ අම්මයි, දුවයි බලන් ඉන්නවා. අම්මගෙ ඔළුව ටිකක් හොඳ මදිලු. එයා දකින දකින කෙනාට යශෝ කියලා කතා කරනවලු. මේ කෙල්ල හිතනවලු යශෝ පණ පිටින් නැතුව ඇති කියලා මොකද එහෙම ඉන්නවා නම් ඇයි තාම නාවෙ කියලා එයා අහනවා? "වෙන රටක හරි, කඳවුරක හරි ඉන්නවා නමි ?" මං ඇහුවා. කෙල්ල ඒකිගෙ දුඹුරු පාට ගැහිචිච දත් පෙන්නලා ඔළුව වනලා හිනා වුණා.. "ඔයා මොනවද දන්නෙ අපි ගැන" වගේ දෙයක් ඒ හිනාව ඇතුළෙ තියෙන්න ඇති. එතකොටයි මම දැක්කෙ ඒකිගෙ කකුල්.

වළලුකරෙන් උඩ කොටස පිච්චිලා. හම ඇකිලිලා. ඒක වුණෙ කොහොමද කියලා අහන්න හදලත් මං ඒ ප‍්‍රශ්නෙ ගිල්ලා. යශෝගෙ අම්මගෙ ඇස් වල සුද බැඳීගෙන එනවා. ඒත් ඒ සුද පහු කරගෙන මොකක්දෝ තෙත කාන්තියකින් ඒ ඇස් දිලිසෙනවා. කෙල්ල අපිට ගෙට කතා කලා. මුළු ගෙදරම තිබුණු ප්ලාස්ටික් පුටු දෙකේ මමයි, තිලියි වාඩි වුණා. අනිත් කටිටිය කැමැත්තෙන්ම එළියෙ නතර වුණා. ලොකු ඇලුමිනියම් මුට්ටි දෙකකුයි, මදුරු දැලකුයි එක මුල්ලක තිබුණා. තවම පැකින් වත් කඩලා නැති මොකකදෝ උස දෙයක් බිත්තියකට හේත්තු කරලා තිබුණා. ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් කියලා බාසා තුනෙන්ම ඒ පාර්සලේ ගහලා. පුල්ලෙයාර් රූපයක් රෝස පාටට තීන්ත පතුරු යන බිත්තියෙ එල්ලුනා. සුදුපාට ප්ලාස්ටික් මල් මාලයක් දාලා තිබිච්ච පිංතූරෙ හිටිය මනුස්සය මේ කියන යශෝධරන්ගෙ තාත්තා වෙන්න ඇති කියලා මම අනුමාන කලා.

අපුරුම දේ තිබුණෙ රෝස පාටට පතුරු යන බිත්තියෙ පැස්ටල් වලින් ඇඳලා. ඒක බිත්තිය පිරෙන්න ඇඳපු දැවැන්ත චිත‍්‍රයක්. ඒකෙ හිටියෙ යෝධ ගිරව් දෙන්නෙක් මූණෙන් මුණ බලාගෙන. උන් වහලා හිටියෙ මල් වලින් බර වෙච්ච අත්තක. ඒ ගිරව් හරියට මැකෝ ගිරව් වගෙ. උන්ගෙ පිහාටු හැම පාටකින්ම පාට කරලා. අම්මා ඒ වෙනකොටත් මගෙ අත අතඇරලා තිබුණෙ නෑ. හරියට මම එයාව අත ඇරලා දුවයි වගේ. "ඕක ඇන්ඳෙ අපේ නිලාමදි" අම්මා දෙමළෙන් කිව්වා. ඒ කෙල්ලගෙ නම නිලාමදි.

නිලාමදි, අපිට කෝපි හදාගෙන ආවා. ඒ කෝපි එකෙන් කොත්තමල්ලි රසකුත් එනවා. ඒක නිසා කෝපි බොනකොට මොකක්දෝ අමුතු සිසිලක් දැනෙනවා. කෝපි කොටන කොට කොත්තමල්ලිත් දාලා කොටනවා ඇති කියලා හිතුවත් මං ඒක අහන්න ගියෙ නෑ. එතන හැදිලා තිබිච්ච නිස්සද්දතාව හරි ඝනකම්. එළියෙ ඉන්න අයට කෝපි දෙන්න කෝප්ප මදි නිසා නිලාමදි, මමයි තිලීයි බීලා ඉවර වෙනකන් බලන් හිටියා. ඒත් එළියෙ හිටිය හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම මේ ගෙවල් වලින් වතුරවත් බොන්නෙ නැති බව මං දැනං හිටියා. "ඔයාද මේ චිත්‍රෙ ඇන්දෙ? හරි ලස්සනයිනෙ" මම දෙමලෙන් ඇහුවම කෙල්ලගෙ ඇස් දිලිසුනා.

"මම තමා ඇන්දෙ, මේ යශෝ, මේ වාකි" කෙල්ල ගිරව් දෙන්නට අත දික් කරලා පෙන්නුවා. තිලීටයි මටයි මූණෙන් මූණ බැලුනා. අම්මට වගෙ මේ කෙල්ලටත් ඔළුවෙ අමාරුවක් තියෙවා වගේ. ඒකි ආයෙමත් ආවේසෙකින් වගේ කියවන්න ගත්තා. ගොත ගගහ පැමිණිල්ලක් කරනවා වගේ ඒකි කියෙව්වෙ. ඒ වේගෙ අල්ල ගන්න බැරි නිසා මම වචන අල්ලන එක නතර කලා. නිලාමදි කියෙව්වෙ ඔළුව කහ කහ. එයාගෙ ඇස් ලොකු වෙන හැටි පුංචි වෙන හැටි, මූණ ඒ මේ අතට හරවන හැටි මං බලා හිටියා. ඒ කොණ්ඩෙ තඹ පාටක් ගැහිලා. අම්මා ඒ වෙද්දි මාව අත ඇරලා ගිහිල්ලා සුට් කේස් එකක් අවුස්ස අවුස්ස මොනවදෝ හොය හොය හිටියෙ. එළියෙ හිටිය අපේ කටිටිය සැරින් සැරේ ගෙට එබුණෙ යමු කියලා නොකියා කියමින්. නිලාමදි හෝ ගාලා කියවනවා.

අම්මා සුට්කේස් එකෙන් හොයාගෙන ආවෙ කළු සුදු පිංතූරයක්. ඒ පිංතූරෙ හිටියෙ මගෙ වයසෙම වගේ කොල්ලො දෙන්නෙක්. දෙන්නා කරවල් වල අත් දාගෙන. නිලාමදි ඇවිල්ලා තිලීටයි මටයි පිංතූරෙ ඉන්න අයව විස්තර කලා. ඉත්තෑකූරු කොණ්ඩයක් එක්ක ලොකු ඇස් දෙකක් තිබුණු කඩවසමි හාදයා යශෝධරන්. පොඩි ළමයෙකුගෙ හිනාවක් තිබුණු අනිත් කෙනා වාකීසන්. දෙන්නම ලොකුවට හිනා වෙනවා. මගෙයි යශෝධරන්ගෙයි සමාන කමකට තිබුණෙ ලොකු ඇසුයි, ලොකු තොලුයි විතරයි. ඒක අම්මෙක්ව රවටිටන්න පුළුවන් සමානකමක් නෙමේ. අපි ආපහු එන්න පිටත් වෙනකොට ඒ අම්මා ටිකක් සන්සුන් වෙලා හිටියෙ. එයා ටිකක් ඈතින් ඉදන් අපි දිහා බලන් හිටියා. ඒ ඇස් කියන දේවල් තේරුම් ගන්න උත්සහ කළත් සුද බැඳිචිච ඒ ඇස් මුකුත්ම කිව්වෙ නෑ.

"නොකිව්වට ඕකුං ඔක්කොම කොටි වෙන්න ඇති, දැක්කද ඒකිගෙ කොන්ඩෙ කොටට කපලා තිබිච්ච හැටි"

ජයේ කියන කොට තිලී මං දිහා බලලා හිනා වුණා. ඒ හිනාව මට තේරුණා. තිලී කැනඩාවට යන්න ඒ වෙන කොට හුඟක් මහන්සි වෙමින් හිටියෙ. ඒ අතරවාරෙ පොඩි පොඩි පරිවර්තන වැඩ කර කර හොයා ගන්න සල්ලි හරි පරිස්සමට ඉතුරු කලා. මූණට නොකිව්වට තිලී හරි කුණා කියලා අපේ කට්ටිය කතා වෙනවා මට කීප විටක්ම ඇහිලා තිබුණා.

"මොනවද ඒ කෙල්ල ආවේසෙන් වගේ දෙඩෙව්වෙ?" මම ඇහුවා තිලී අතීරණෙන් වගේ තත්පරයක් ඉඳල පිටිපස්ස හැරිලා ජයේ දිහා බලලයි කතා කරන්න ගත්තෙ.

නිලාමදි එයාගෙ අයියගෙ කතාවයි කිව්වෙ, අයියට ඕනෙ වුණේ සංගීතෙ ඉගෙන ගන්නලු. ගිටාර් ගැහුවලු. යාළුවොත් එක්ක ගෲප් එකකුත් පටන් ගත්තලු. එයාලම එකතු වෙලා ඩ‍්‍රව් සෙට් එකකුත් හැදුවලු. හොඳට සින්දු කිව්වලු. අයියා ඉංගී‍්‍රසි සිංදු කියන්නලු වැඩිය කැමති. අයියගෙ හොඳම යාළුවා, වාකිත් සිංදු කිව්වලු. ඒ දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම හොඳම යාළුවොලු. පස්සෙ පස්සෙ එයාලා සිංදු කියන එක නවත්තලා. මොකද වාකි නිතරම යශොත් එක්ක රංඩුවට ඇවිත්. වාකිත් එක්ක කතා කරන්න එපා, එයා කියන ඒවා විශ්වාස කරන්න එපා කියලා, යශෝ නිලාමදීටයි අම්මටයිත් නීති දාලා. ගෲප් එකේ අනිත් කොල්ලොත් හිටියෙ වාකිගෙ පැත්තෙලු. සංවිදානෙ හිටපු කමලා කියලා ගෑනියෙකුත් ඒ දවස් වල වාකිව මුණ ගැහෙනවා කියලා ආරංචි ආවලු. යශොයි, වාකියි තරහ වෙලා. වාකි සැරෙන් සැරේ යශෝව බලන්න ආවම යශෝ වාකිට බැනලා එලෝගෙන. දෙන්නා දරුණු විදියට රණ්ඩු කර ගත්තලු. ඊට ටික දවසකට පස්සෙ වාකි අතුරුදහන් වෙලා. යශෝ දවස් ගානක් නොකා නොබී බලාගත්තු අත බලාගෙන ඉඳලා. පස්සෙ එක රෑක ගෙදර කට්ටියට එයා ගැන ආයෙ හොයන්න එපා කියලා පොඩි ලියුමක් ලියලා තියලා අතුරුදහන් වෙලා. පස්සෙ කාලෙක නිලාමදිත් සංවිදානෙට බැඳුනට යශෝ ගැනවත් වාකි ගැනවත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙලා. නිලාමදිලගෙ ලිඳ ගාවට හැමදාම හවසට ගිරව් දෙන්නෙක් එනවලු. උන් මාල ගිරව්. නිලාමදිලා උන්ට බත් දෙනවලු. උන් නිලාමදි දිහා බලන විදියට නිලාමදීට හිතෙන්නෙම ඒ කොහෙදි හරි මැරිච්ච යශෝයි වාකියි කියලාලු.

මගෙ ඔළුව ඇතුළෙ යශෝයි, වාකියි ගැන වෙනමම කතාවක් දළු දාන්න ගත්තත් මම ඒ දළු කඩලා විසි කලා. මට එක පාරටම මං ගැනම මහ හිරිකිතක් දැණුනා.

අම්මා වමනෙ දාන්න මගෙ ඇඳ ළඟ තියලා තිබුණු ටින් එක මම දැක්කෙ දෙකක් වගේ. වමනෙ ගියෙ මුහුදෙ රැළි ගහනවා වගේ. අන්තිමට ඇඟ දඟර ගගහා ඔක්කාරෙ කලත් එළියට දාන්න දෙයක් තිබුණෙ නැහැ. වමනෙ බිම හැම තැනම. ඔළුව ඇතුළෙන් එන වේදනාව දරන්න බැරි තරම්.

"කිලිනොච්චි කියන එකේ තේරැම දන්නවද? නික ගස් වල වහපු ගිරව්, මේ දම් පාටට පොඩි මල් පිපුණු, හීන් දිග කොළ තියන ජාතිය...." තිලී නික ගහක් දැකපු වෙලාවක කිව්වා. සට සට ග ගා ගිරව් පියාඹනවා.. උං හැමතැනම වහලා. යට ලීයෙ පෝළිමට. ජනෙල් පඩිය උඩ වහන්ඩ ඉඩ නැති උං කිරීස් ග ගා කෑ ගගහා පියාඹනවා. ආච්චිලගෙ වත්තෙ පොල් කඩපු අවුරුදු ගාණකට කලින් ගහකින් වැටිලා මැරිච්ච ජේමිස් සරම කැහැපොට ගහගෙන මයිල් පිරිච්ච කකුල් වන වන ගිරව් වහලා ඉන්න බාල්කෙක වාඩි වෙලා රතු ඇස් වලින් මගෙ දිහා බලන් ඉන්නවා. මම තද කරලා ඇස් පියා ගත්තා. තද කළු පාට අන්දකාරෙක ගිරව් ඉංගී‍්‍රසියෙන් සිංදු කිය කිය රවුමට රවුමට පියාඹනවා.

කිරාංචි වෙරළෙදි සමන් කුමාරව දැකපු ගමන් මගෙ ඔළුවෙ විදුලි කෙටුවා. එයාට තිබුණෙ ගොරෝසු ඇහි බැමි යටින් වෙඩි තියන ඇස් . මං එයා දිහා කෙලින් බැලුවෙ නැතුවට මාළු අල්ලන මිනිස්සු ගෙනාපු දැල්ලන්ව අපි මනින දිහා මිනිහා උනන්දුවෙන් බලන් ඉන්න හැටි පැත්තට දැක්කා.

"මහත්තෙලා මෙතන වැඩ කරන්ඩ අපේ බි‍්‍රගෙඩ් එකෙන් අවසර ගත්තද?"

මිනිහා ඇහුවෙ සෑහෙන වෙලාවකට පස්සෙ. මං ඔව් කිව්වම මිනිහා මගෙ කට වචනෙ විශ්වාස කළා.

"කට්ටියම සිංහලනෙ, අවුලක් නෑ"

ටිකක් ඈතින් තව ආමි කොල්ලො දෙන්නෙක්, ජයේ දැල්ලන්ගෙ සාම්පල් බෝතල් වලට දාන හැටි බලන් උන්නා. මං සිගරට් එකක් පත්තු කරගෙන හෙවණට ගියා. මාළුවා හැරිච්ච ගමන් මං ඔළුවෙන් කතා කරලා සිගරට් එක දික් කලා. මාළුවා ඇම ගිල්ලා. වෙඩි තියන ඇස් දෙක මගෙ ළඟට ආවා. තිලී අමුතු හිනාවක් එක්ක මට ඇහැක් ගහලා අහක බලා ගත්තා.

"මල්ලි, ගම් පළාත් කොහෙද?"

"මං එප්පාවල, එළියදිවුල්වැව අයියෙ"

මාළුවා ලොකු හිනාවක් එක්ක කිව්වා. තමන්ගෙ ඇස් වෙඩි තියන බව ඌ දන්නෙ නැහැ කියලා කට අරිනකොටම ඕනෙ කෙනෙක්ට තේරෙනවා. වෙඩි තියන ඇස් තිබිචිච මාළුවා දෙපාරක් ඇදලා ආයෙ සිගරට් එක මට දුන්නා.

"මල්ලිලා කි‍්‍රයාන්විතෙත් හිටිය ද ?"

"නැතුව අපි නන්දිකඩාල් වලත් හිටියා අයියෙ, ඒ දවස් වල මට කහ උනත් හැදුණා. හැමෝම හිතුවෙ මං මළා තමා කියලා. දවස් හතරක්ම සිහි නැතුව උන්නා. මංවත් හිතුවෙ නෑ ආයි බත් කයි කියලා. පුරුවෙ පිනක් තිබිලා බේරුණා. අයියා කොයි පළාතෙ ද?"

"මං පිළියන්දල, මෙහෙ හොඳයි ද?"

කොල්ලා හීනියට හිනා වුණා. වෙඩි තියන ඇස් දෙකකුයි ලොකු තොල් දෙකකුයි තිබුණට, ඌට තිබුණෙ පොඩි එකෙකුගෙ අහිංසක හිනාවක්. උල් දඩයං දත් නිසා ඒ හිනාව ඇතුළෙ වෙනම ලස්සනකුත් තිබුණා.

"දැන්නං ඉස්සර තරං නිවාඩු ගන්ඩ අමාරු නෑ. ඒත් ඉතිං ගම් පළාතෙ ඉන්නවා වගේ කොහෙද?"

"ඇයි ඒ, එහෙ දාලා එන්න බැරි කෙනෙක් ඉන්නවද?"

කොලුවට ආයෙමත් හිනා ගියා.

"තාම එයාව බැඳලා නෑ, එන අවුරුද්දෙ අපි බඳිනවා"

"මොකක්ද නම?"

"බට්ටි"

"බට්ටි?"

"ඇත්ත නම දමයන්ති, ගෙදෙට්ට කියන්නෙ බට්ටි කියලා"

"කවුද බට්ටි කියලා නම දැම්මෙ, ඔයාද?"

"නෑ, පොඩිකාලෙ එයාලෑ අම්මා දාන්න ඇති"

"දමයන්ති නං දම්මි කියන්න එපැයෑ, ඇයි බට්ටි කියන්නෙ?"

කෝප‍්‍රල් සමන් කුමාරට හිනා.

"ඒක මට නෙමේ, එයාලැයි අම්මට කියන්න"

"ඉතිං ඔයාවත් මීට පස්සෙ දම්මි කියන්න"

"මොන නම කිව්වම මොකෝ"

මං තණකොළ බිස්සෙ වාඩි වෙලා තවත් සිගරට් එකක් පත්තු කර ගත්තා. සමන්ටත් එකක් දුන්නා.

"කී දෙනෙක්ට වෙඩි තියලා තියනවද?"

සමන් ගැස්සුනා. මං දුං වලල්ලක් ඇරියා.

"අපි පංසල් ගිය, දංසැල් දුන්න කොල්ලො අයියෙ, මල් පුජා කරපු අත් වලින්ම පෙර කරුමෙකට තුවක්කු අල්ලන්න උනාට"

"අක්කරායන් වලදි හම්බ වෙච්ච ආමි මල්ලියෙක් අරුංගෙ කෑම්ප් එකකට ගහපු කරපු හැටි කිව්වා, උංගෙ එකෙක්ටවත් බේරිලා යන්න දීලා නෑ"
මං කිව්වම සමන් නිකට උස්සලා මගෙ දිහා බැලුවා.

"අපේ තාත්තා මැරෙන කොට මට අවුරුදු අටයි. අම්මා මල්ලිවයි, මාවයි මහණ කරන්න හැදුවා. මල්ලි මහණ වුණා. මං කෑ ගහල අඬලා ගෙදර නතර වුණා. මට තව නංගිලා දෙන්නෙකුයි, අක්කෙකුයි ඉන්නවා. අම්මා පොස්පේට් එකේ වැඩට ගියා. දැන් වකුගඩු අමාරුව. එක නංගි කෙනෙක් පැනලා ගියා. අනිත් නංගියි අක්කයි ගෙදර"

ඌ වෙඩි තියන ඇස් වලින් මගෙ දිහා බලාගෙන කියවගෙන කියවගෙන ගියා. ඒ ඇස් තව දුරටත් වෙඩි තියන්නෙ නැහැ.

මං තිලීට කතා කරලා අපි දෙන්නගෙ ෆොටෝ එකක් ගන්න කිව්වා. සමන් යුනිෆෝමි එකේ රැුලි අතින් හදලා මෝල් ගහක් වගේ හිටගෙන හරි කෙලින් කැමරාව දිහා බැලුවා. මං සමන්ගෙ කර වටේ අත දැම්මත්, සමන් මගෙ කර වටේ අත දැම්මෙ නැහැ. "හිනා වෙන්නකො රවං ඉන්න නැතුව" මම කිව්වම කොල්ලා සැර පෙනුම බහින්නෙ නැති වෙන්න හීන් හිනාවක් දැම්මා.

දවල්, නිලාමදි, වෙරළට ආවා අපි ගාව රස්සා තියනවද බලන්න.
අපි ගාව රස්සා තිබුණෙ නැහැ.
හවස අකුණු ගගහා වැස්සා. සමන්ලා පොයින්ට් එකේ තේ වක්කරලා අපිටත් බොන්න දුන්නා. සමන්ගෙන් විතරක් ඉල්ලන්න බැරි නිසා මම ආමි කොල්ලො තුන් දෙනාගෙම ටෙලිෆෝන් නොම්බර ඉල්ල ගත්තා.

ආපහු මන්නාරමට එද්දි වෙල්ලංකුලම් හරියෙදි වාහනේ මඩේ එරිලා, ඒක තල්ලු කරන්න ගිහින් අපි හැමෝම තෙමුණා. ළඟ ගෙදරක කොල්ලො ටිකක් අඬගහගෙනයි යාන්තං තල්ලුකර ගත්තෙ. මන්නාරමට එද්දි පාන්දර එකටත් ළඟයි.

සුබානිස් මාමා තාලෙට මතුර මතුර මගෙ ඔළුව වටේ කරකවලා ගිරෙන් කපන දෙහි ගෙඩි වල බෑ වතුර බේසමට වැටෙනවා. මගෙ ඔළුව ඇතුළෙ ඒ යාතිකාව දෝංකාර දෙනවා. ඇස් අරින්න බෑ ඇස් පිහාටු බරයි .

මම කිරංචි වෙරළෙ හිටගෙන ඉන්නවා. ඈතින් පේන දූපතේ ඉඳන් කවුදෝ අත වනනවා. එයාව බේරගන්න කියලා කෑ ගහනවා. ඒක බැරෑඬි වෙච්ච කටහඬක්. ඒ මම ද? වාකි ද? යශෝ ද? සමන් කුමාර ද? නැත්තං තිලී ද?



ඉසුරු චාමර සෝමවීර

Thursday, March 31, 2011

මණිකන්ඨ


එළි කර අඳුරු අහුමුළු
එක තනි මොහොතකට
කෙටෙයි කෙටි විදුලි එළි

ඇදෙයි ඌ සෙමෙන් රහසින්
වෙලෙයි මා වටකර, තදින් සෙනෙහෙන්
බිඳෙයි ඉරිතැලෙයි මා
නැගෙයි පෙන ගොබ අහස සිඹිමින්

කැතයි සෙවලයි කීවද
විසයි, ඌ රැදු සපෙක් වූව ද
වැසි දියෙහි තෙමෙමින්
විඳිමි ඒ රැදු පහස නිතියෙන්

රිදෙයි හී ගඩු නැගෙයි
ගැට දදා පේ‍්‍රමෙන් වෙලෙයි
කොතෙක් හඬ හඬ ඇසූවද
මහරු නා මිණ මට නොදෙයි

තනිව හිඳ සිටිමි වන රුක් මුල
දනිමි ඔබ නැවතත් නොඑන වග
නැතද ඒ මහරු නා මිණ
දකිමි පෙර නුදුටු මා හද මිණ


ඉසුරු චාමර සෝමවීර

කළු කුමාරයා


දහවල බෙහෙවින්ම ගිනියම් ය. සුළඟ දූවිලි අවුස්සමින් ඇදී යයි. තාර නොදැමු පාරේ තද කහ පාටට උඩ ඉගිලෙන දුවිලි අවට ගස් කොළන් ද වසා ගෙන ඇත. මවුන්ටන් බයිසිකලයක් පැදගෙන ගිය කොල්ලෙක් යන ගමන්ම නාලනී ටීචර්ට ඇල හිනාවක් හැලුවේය. ඌ කවුදැයි නාලනී ටීචර්ට මතක්වුයේ ටික දුරක් ඉස්සරහට ගිය පසුවයි. ඒ ශිෂ්‍යත්වයට ටියුෂන් ආ නිමල්නෙ. ඌ ලොකු වී ඇති ඉක්මන. ඌට ඉලක්කම් වැඩි කිරීම හා චක්කරය අතර ඇති සම්බන්ධතාවය තේරැම් කිරීමට නාලනී ටීචර්ට කවදාවත්ම පුළුවන් වුයේ නැත. ඌට දොළොස් වරක් වෙනකම් චක්කරය කට පාඩම්ය. ඒත් වැඩි කිරිමේ ගාණක් දුන් විට එය විසඳන්නේ කෙසේදැයි ඌ කවදාවත්ම නාලනී ටීචර්ගෙන් ඉගෙන ගත්තේ නැත.



ඒ දවස්වල නාලනී ටීචර්ගේ හවස් වරුවේ ශිෂ්‍යත්ව පංතියේ ළමයි නාලනී ටීචර්ට නැති තැන කියන්නේ කෙහෙල් ඇවරිය කියායි. ඒ ඇගේ ඉදිරියට නෙරූ දත් වහල්ල නිසයි. දැන් ඒ ශිෂ්‍යත්ව පංතියට ආ කොල්ලො කොල්ලෝ බොහොමයක් අම්මලා තාත්තලාය . නාලනී ටීචර් තවමත් තනිකඩය.

මදටිය ගහ ළඟින් දෙවටෙන් හැරුනු විට නාලනී ටීචර්ලාගේ ගෙදර උළු වහළ පෙනෙයි. එතකොටයි නාලනී ටීචර්ගේ මහන්සිය ඇබින්දක් තුනී වන්නේ. ගෙටවිත් සාරිය මාරු කළ ඈ කෙලින්ම බැස්සේ ගවුමට නොව දිය රෙද්දටමය. දාහය ඒ තරමට දැඩිය. මේස ලාච්චුව ඇර තමාටම වෙන්කරගත් ලක්ස් කෑල්ල ගත් ඇය පිලිකන්නේ පුංචි පනිටිටුව අතට ගත්තාය. එවිටයි ඇගේ අම්මා මිසි නෝනා ඇයව දැක්කේ.

‘ අද මොකද පරක්කු ?’
‘වෙනදා වෙලාවම තමා’

කොරතොට පදිංචි නාලනී ටීචර් උගන්නන්නේ දෙමටගොඩ පැත්තේ ප්‍රාථමික පාසැලකය. බස් තුනක මාරු වෙවී ඇය ගෙදර එන විට අඩුම තරමේ හතර පහුවෙයි. ගෙදර එන විට ඇගේ හොඳ පණ ගොස්ය. ළඟපාත පාසැලකට මාරුවක් හදා ගැනීමට කොතරමි වලි කෑවත් තාමත් එය හරියන පාටක්වත් නැත.

“අද අරහෙන් පණිවිඩයක් ආවා”

මිසි නෝනා එය කීවේ මුණ මලවාගෙනයි.

“කොහෙන්ද ?”
“ මැණිකාගාරෙ කටිටියගෙන්”

අම්මා කියන්නටත් කලින් මැණිකාගාරෙ කටිටියගේ උත්තරය මොකක්දැයි නාලනී ටීචර් අම්මාගේ මුණෙන් දත්තාය.
“ අදහස අත්ඇර ගන්ඩලුද ?”

“ එහෙම්මත් කියලා නෑ ඒ ළමයට වෙන තැනකින් කටයුත්තක් හරි ගිහිල්ලලු , ඒ ළමයා කැමති ඒ ගෑනු ළමයටලු.”

මිසි නෝනා ඇත්ත උත්තරයේ සැර බාල කර කීවාය. නාලනී ටීචර්ට නමි දැන් ඕවා හොඳ හැටි පුරුදුය.

“ ඕකට ඒගොල්ලො හා කිව්වත් මං බෑ කියන්නයි හිටියෙ , ඊක්කා ඒ යකාගෙ කළු, කළු දෑවක්නෙ... අර කුලසිරි මල්ලි ගෙනාපු යෝජනාව හින්දා මං කරබාගෙන හිටියෙ....”

කුලසිරි යනු නාලනී ටීචර්ගේ බාලම නංගීගේ ස්වාමි පුරුෂයායි. මනමාලයා කළු වුවත් නාලනී ටීචර් නමි සුදුය. කොටින්ම සුදුමැලිය .හරියටම කියනවා නමි එය කහ ඟැරඩියෙකුගේ බඳු සුදකි. ඇගේ බාල නංගී කුලසිරි හා පැන ගියේ අක්කා දීග යන පාටක්වත් පේන්නට නොතිබු නිසාය. ඒ දවස් වල නංගී තමන්ට කලින් ඉස්සරවීම ගැන නාලනී ටීචර් බුකවාගෙන හිටියත් ගෙදරින් නංගීට තඹ දොයිත්තක්වත් නොදීම ගැන ඇය සෑහෙන්න කැමති විය.

“ උඹ කෑවද ?”
“ නාගෙන ඇවිත් කනවා . . .”

නාලනී ටීචර් පිළිකන්නේ ළිඳ පහු කලාය. අහසේ ඈතින් තද දමි පාටට හුරු කළු පාට යෝධ වළාකුළු පොකුරක් නලියමින් තිබුණි.

“ හැන්දෑ වෙලා , වැස්සකුත් එනවා . . . . ගෙදර ළිෙඳන් ඇදලා නා ගනින්”
“ ඇද ඇද ඉන්ඩ බෑ පහළ වෙලේ ළිඳට යනවා”
“ කරුවල වැටෙන්ඩ ඉස්සෙල්ලා වරෙන්”

නාලනී ටීචර් ගිය පසු මිසි නෝනා වත්තේ සිට ඇහිදන් ආ හනසු, බූ මටුලු ටික කොහු ලණුවකින් පොඩි මිටියකට බැන්දාය. නාලනී ටීචර්ගැන හිතන විට මිසි නෝනාට ඉබේටම හීල්ලෙයි. ඈ දුවගේ කාමරයට ගොස් සර්ප හැවක් මෙන් ඇඳ උඩ ඔහේ විසිරී තිබු දාඩිය ගඳ සාරිය අකුලා යට සායත්, බොඩියත් ගෙන ඉස්කිරීමේ එල්ලුවාය.

අහසේ කළුව බල බලා නාලනී ටීචර් අඩිය ඉක්මන් කලාය. ඈට මුත්‍රා බරක් දැනුනි. ඈ එය හිර කරගෙන දිව්වාය. මුත්‍රා බර ඉක්මනින්ම දරා සිටීමේ සීමාව ඉක්මවීය. ඈ වට පිට බැලුවාය. කවුරුවත් පේන තෙක්මානයක නැත. නාලනී ටීචර් වෙල අයිනේ දං අකුලක් අසල ඇනතියා ගත්තාය. හිටිගමන් කවුදෝ පාරේ වංගුවෙන් මතු විය. නාලනී ටීචර්ට නැගිට්ටුනි.

මුත්‍රා දිය රෙද්ද පුරාය. ලැජ්ජාවට ඇගේ කනුත් රතු විය. කවුදෝ මිනිහෙක් බර අඩි තබමින් වේගයෙන් එයි. ඔහුගේ උස් කකුල් ඈතින් ඈතින් අඩි තියයි. නාලනී ටීචර් ලාවට පස්ස හැරී ඔහුව අඳුනා ගන්නට බැලුවාය. දෙතුන් විඩයක්ම හැරී බැලු පසු ඒ විල්සන් මුදලාලිගේ පොල් වත්තේ මුර කාරයා බව ඈ හඳුනා ගත්තාය. ඔහු දත් මදිමින් එයි. ටීචර් අඩිය ඉක්මන් කලාය. ඔහුගේ උස කකුල් ඔහුත් නාලනී ටීචත් අතර පරතරය අඩු කළේය.

“මිසී නාන්ඩ වගේ ?

“ ඔව්”

ඔහු නාලනී ටීචර් හා සමාන්තර ගමනකය. නාලනී ටීචර් මුර කාරයාට ඉස්සරවී ඇති වීරියෙන් නොදුවා දිව්වාය. ඔහු කළු ය. කළුම කළු ය. කොටින්ම නාලනී ටීචර්ව බලන්නට ආ මනමාල මහත්තයාටත් වඩා කළුය. අලි තප්පදෝරුය. උසට සරිලන මහතින් යුතුය. පපුවේ මයිල් ගන සැරේට වැවී ඇත. දත් ටික කිරි සුදුය. ඔහු වගේ වගක් නැතිව බෝඹු කෝටුවක් දත් වල උලමින් බර අඩි තබයි. නාලනී ටීචර්ට ලැජ්ජාවක් සමඟ හීන් කිතියක්ද දැනී නොදැනුනි. ඈ හොරෙන් දිය රෙද්දේ පහළ ඇති මුත්‍රා පැල්ලම් දෙස බැලුවාය. දම්පාට වළාකුළු ඇයට ඉහළින් අහසේ විය.

වෙලේ ළිඳ ගැට්ටටම පිරී ඇත. උතුරන වැඩිපුර වතුර පැත්තකින් වෙලට ගලයි. නාලනී ටීචර් ආසාවට හිනා වුනාය. ඈ පුංචි පනිට්ටුවෙන් වතුර ඔළුවට හලා ගත්තාය. වතුරේ හීතල ඇඟ කිලිපොලවන සුළු විය. හනි හනික වතුර පනිට්ටු හත අටක් නා ගත් ඈ වටපිට බැලුවාය. මුර කාරයා උණ පඳුර ළඟ ඇන තියාගෙන දත් මදී. ඔහුගේ ඇස් වෙලේ ඈතකට යොමුවී ඇත.

ඇඟේ ලක්ස් කැටය උල උලා නාලනී ටීචර් පොල් මුඩ්ඩෙන් හොඳ හැටි ඇඟ ඇතිල්ලුවාය. මුර උන්නැහේ නාන්නට පටන් ගත්තේය. තඩි විසාල පනිට්ටුවකින් නෑ ඔහු එයට වතුර පුරවා ඔළුවට වත් කර ගත්තේ පුළුන් කොට්ටයක් උස්සනවාක් මෙන් ලෙහෙසියටයි.

නාලනී ටීචර් සබන් ගා ඉවර වෙනවාත් සමඟම ඔහුත් සබන් ගාන්නට විය. කෙටි ඉණ කඩක් පමණක් ඇඳ සිටි ඔහුගේ රූප කාය නාලනී ටීචර් තුළ මොකක්දෝ අමුත්තක් ඇති කළේය. ඇඟේ සබන් පිටින්ම ඕ මවිතව බලා සිටියේ ඔහු දෙසමය. සබන් උලන විට ඔහුගේ පපුවේ සවිමත් මස් පිඬු නටයි. බාහු විශාලය , ශක්තිමත්ය. කළුවර ළඟ ළඟම එයි. වෙලේ කොක්කු එකා දෙන්නා අහසට ඉගිල්ලෙයි. තද දම් පාට වළාකුළු එක ගුලියට පෙරලෙයි. දං අකුල් උඩ බලා හිඳී. නාලනී ටීචර්ගේ ඇඟම හිරි වැටී ඇත. සීතල වතුර නිසාදෝ ඈට තමා කිටි කිටි ගා වෙව්ලනු දැනුනි.

“මිසී නාලා ඉවරද ?”
“නෑ”

ඇඟේ සබන් පිටින් ඉන්නා තමන්ගෙන් මුර උන්නැහේ ඇසු ප්‍රශ්නයේ තේරුම නාලනී ටීචර් කල්පනා කලාය. ඉක්මනින් නා ගත යුතුය. එහෙත් ඔහුගේ සිරුරෙන් ඇස් ඉවතට ඇද ගන්නටම බැරිය. මොකක්දෝ අමුත්තක් සිදුවෙයි. අහසේ ලොකු විදුලියක් කෙටුවේය. මහ හඬින් ගෙරෙව්වේය. නාලනී ටීචර් එක පාරටම පැන මුර උන්නැහේ බදා ගත්තාය. ඒ සිරුරෙන් ගින්දරක් වැනි උණුසුමක් කාන්දු වෙනු ඇයට දැනුනි. ඒ ඉක්මනටම ඔහුව අතහැරිය ඇය පුදුමයෙන් ඒ ලොකු කළු ඇස් වලට එබුනාය. ඒ ඇස් සුවිශාලය, තෙත බරිතය,

“මිසී මිසී?”
“මිසී ට මොකද වුණේ ?”

ඇස් ලොකු කර නැවතත් ඔහු දෙස බැලූ නාලනී ටීචර් සබන් පිටින්ම දුවන්නට වුවාය. ළිං පඩියේ දිය සෙවළට ඇය ලිස්සා නොවැටුනේ අනූනමයෙනි. ඇගේ කකුලක වැදී පුංචි පනිට්ටුව පෙරලුනි. පනිට්ටුව, පොල් මුඩ්ඩ, ලක්ස් කැටය ළිඳ ළඟය. මුර කාරයා කරන්නේ කුමක්දැයි නොදැන කට ඇරගෙනය. නාලනී ටීචර් දෙවට දිගේ පිම්මේය. දම් පාට වළාකුළු පුපුරා විසල් වැහි බිඳු බිමට වැටෙයි. වැහි වතුරට පොළොවෙන් සියුම් දුමාරයක් නගී. අමුතු නවමු පුසුඹකින් ද පරිසරය පිරී ඇත. දූවිලි තට්ටු හේදී ගිය මඟ දෙපස ගහ කොළ අමුතු කොළ පාටකින් දිලිසෙයි. මඩ පාට හීන් දිය පාරවල් දෙවට දිගේ නයි මෙන් බඩ ගායි. නාලනී ටීචර් මේ මොකවත්ම දුටුවේ නැත. ඈ අඩියට දෙකට ගෙදරය. පිළිකන්නේ පහළ පඩියේ වාඩි වූ ඈ සන්නියක් වැළඳි තැනැත්තියක් මෙන් වෙවුලයි. ඇගේ ඇඟ පුරා සබන්ය. කඩා පිටට හෙලා ඇති කෙස්සෙන් දිය බිංඳු වෑහෙයි. රෑ බතට කුස්සියේ පොල් ගාමින් සිටි මිසි නෝනා සද්දයට පිළිකන්නට දිව ආවාය. නාලනී ටීචර්ගේ ඇස් මදටියා ඇට මෙන් රතුම රතුය. මිසි නෝනාගේ ඇස් භීතිය නිසා එළියට පනින්නට ඔන්න මෙන්නය. ඈ නාලනී ටීචර්ගේ නලලට අත තියා බැලුවාය. ඇඟෙන් වතුර බිංඳු බේරුනත් නළල ගිනි කබලක් මෙන් උනුසුම්ය.

“ මොකද මොකද ?”

කලබලයට මිසි නෝනාගේ කටට වචන උනන්නේ නැත. නාලනී ටීචර් ඔහේ මිසි නෝනාගේ සුද බැඳුනු ඇස් දෙස බලා සිටියාය.

“ ඇයි රත්තරනේ මේ සබන් පිටින් ?”

නාලනී ටීචර් නයි පිඹින්නාක් මෙන් මහ හයියෙන් සුස්මයි. ඇගේ කෘෂ පපුව සිරුරට ඔරොත්තු නොදෙන තරම් වේගයෙන් ඉහල පහළ යයි.

“ මොකක්ද වුනේ කියලා කට ඇරලා කියපන්කො රත්තරනේ ?”

මිසි නෝනාගේ හඬ හැඟුම් බරය. සිංහල උළු වහළයෙන් වැටෙන වැහි වතුරෙන් මිසි නෝනා බාගෙට තෙමී ඇත.

“ මං දැක්කා , මං දැක්කා , මං දැක්කා අම්මෙ”

නාලනී ටීචර් උගුර යටින් එන ඇඟ කීරි ගස්සන හඬකින් මොර දෙයි.
“ මොකාද ? මොකාද ?”
“කළුම කළුයි, උසම උසයි, ඔව් උසම උසයි”
“ඈං”
“ඔව් පොල් ගහක් විතර, අනේ මට බයයි අම්මෙ”

දැන්නමි මිසි නෝනාගේ ඇස් එළියේය. සුද බැඳුනු ඇගේ විසල් ඇස් විරූපීය.

“කිරි අප්පේ කළු කුමාර දේවතාවුංනාන්සෙ”
“මං උඹට කට කැඩෙනකං කී දවසක් කියලා තියනවද ගොම්මනේ තනියෙං වෙල් අස්සෙ යන්න එපා කියලා”

මිසි නෝනාගේ හඬ හොඳටම හැඟුම් බරය. අනතුරුව ඈ අල්ලපු වත්තේ හාමිනාට බෙරිහන් දුන්නාය.

“හාමිනෝ මෙහෙ වරේර්ං, බලහං වෙලා තියන නස්පැත්තියක්”

නාලනී ටීචර් වැස්ස හලා ඉස්පාසු වන අහස දෙස ඔහේ හිස් බැල්මෙන් බලා සිටියාය.


Isuru Chamara Somaweera | ඉසුරු චාමර සෝමවීර

First love


එයා ලස්සණයි. හරිම ලස්සණයි. දිගටි ඇස් පිහාටු, ලා දුඹුරු පාට ලස්සණ බළල් ඇස්, සුරුන්ඩු වෙච්ච චූටි නෙළුම් දළු වගේ හැඩ තොල්, හීනි දිගටි අත පය, දිගටි ඇඟිලි, දිය ඇල්ලක් වගේ ගලාගෙන බහින ලා දුඹුරු පාට කොණ්ඩෙ, කොටින්ම එයාගෙ ඇඟටම කැපෙන වැඩි විච්චූරණ නැති චාම් ඇඳුම්. ඒ චාම් බවම එයාට ආභරණයක්. ඒ ඇඳුම් වලින් වැඩි හරිය සුදු පාටයි. නැත්නම් හරිම ලා පාට ඒවා. වළලුකරට ම දිග ලා පාට සායවල්, නෙපර්ටිටි රැජිණ වගේ ලස්සණ දිග බෙල්ල කැපිල පේන හීන් උරිස් පටි දාපු ගවුම්, ගොඩාක් එයාට තිබුණා. මට එයාගෙ නම කියන්න බැරි වුණානෙ. එයා සෆ්රා ඇන්සලා බූසෝ. මහ අමුතු නමක් නේද? එයා මුස්ලිම්... ඒකයි නම අමුතු වුනේ. එයා ඇත්තටම කිව්වොත් බාගෙට මුස්ලිම්. තාත්තා මුස්ලිම් අම්මා සිංහල. ඒත් එයා හැදුනේ වැඩුනෙ සාමාන්ය සිංහල ගෑණු ළමයෙක් වගේ.

ඇත්තට ම ඊට ටිකක් වෙනස්වට.... ඇත්තට ම එයා සිංහල කෙනෙක්-



වගෙත් නෙමේ, මුස්ලිම් කෙනෙක් වගෙත් නෙමේ... එයා ... එයා වගේ.

එයාගෙ වයස දහ නමයයි. එයා ඒ ලෙවල්ස් හොඳට පාස් වෙලා වෛද්ය විද්යාලෙට කැඳවීමේ ලියුම එනකන් බලන් හිටිය. එයා එයාගෙ පවුලෙ එකම ළමයා. සෆ්රට ටයිනි කියල හරි හුරතල් පොමනේරියන් බැල්ලි පැටියෙක් හිටිය. ඌ සුදුම සුදුයි. මං ලඟට සෆ්රා වැඩියෙන්ම ආදරේ වුනේ ඌට. සෆ්රට ලස්සණට කවි ලියන්න පුළුවන්. එයා එවන ලියුම් වල ලස්සණ දිග කවි තිබුණ. එයා මට නිතරම වගේ ලියුම් එව්වා. ඒ අපිට නිතරම මුණගැහෙන්න බැරි වෙච්චි නිසා. සෆ්ර ගෙ තාත්තා අපේ සම්බන්දෙට කැමති වුණේ නැහැ. ඒ මම දුප්පත් නිසා. අපේ ගෙදරිනුත් සෆ්ර ට කැමති වුණේ නැහැ. ඒ එයා මුස්ලිම් නිසා. මටත් පුදුමයි ඇයි සෆ්රා මං වගේ නිකම්ම නිකං කිසි ගතියක් නැති ක්ලාක් කෙනෙකුට කැමති වුණේ කියලා.

එයා කොච්චර චාම්, විනීත, හැදිච්ච ගෑණු ළමයෙක් වුනත් බොරු පුහු සදාචාරෙ තඹ සතේකට මායිම් කලේ නැහැ. අපි තනි වෙච්චි වෙලා වලදි එයා මට එයාව සිප ගන්න ඉඩ දුන්නා. මට ඕනෙ නම් එයාව නිරුවත් කරන්න ඉඩ දුන්නා. අපි අතරෙ අපේ සිරුරු ගැන රහස් තිබුණෙ නැහැ. එයා ඒ තරමට විවෘතයි. එයාගෙ නිරුවත ... ඒ ගැන කිව්වොත් අර මොකක්දෝ පොතක තිබුණා වගේ වර්ණනාවිෂයාතික්රාන්තයි. පුදුමෙන් ඉස්සරහ බලන් ඉන්න පියයුරු, හීනි සියුමැලි සුදුමැලි බඩ, චූටි ගැඹුරු බුරිය, ඇත් දළ පාට ලස්සණ කලවා... මං තවත් වර්ණනා කරන්න යන්නෙ නැහැ. ඒක එයාගෙ පුද්ගලිකත්වයට හානියක්. එයාගෙ බෙල්ල පිටිපස්සෙ චූටි ලස්සණ සමනළයෙකු ගෙ ටැටූ එකක් තිබුණා. දිග ලස්සණ කොණ්ඩෙට වැහිලා නිසා ඒ ලස්සණ ටැටූ එක දැක්කෙ මම විතරම යි. එතන ඉඹින කොට හරි උණුසුම්. මං එයත් එක්ක චිත්රපටියක් බලන්න ගියාම කරට අත දැම්මා කියල කවදාවත් ඔරවලා නෑ. ඉඳලා හිටලා කිස් එකක් දුන්නම මූණ පුළුටු කර ගන්නෙ නැහැ. එයා ඉර එළියෙ ගලා බහින විනිවිද පේන දිය පාරක් වගේ විවෘතයි.

මං ගැන කිව්වොත් මම උදේ හවස ඕනෙම පාරකදි හම්බවෙන්න පුළුවන් ජාතියෙ, නීට් එකට අඳින, නෝ-ලිමිට් හරි ඔඩෙල් හරි බෑග් එකකට ලන්ච් පැකට් එක දා ගෙන යන නිකම්ම නිකම් ක්ලාක් කෙනෙක්. මට සෆ්ර ව හම්බ වුනේ කොළඹ පබ්ලික් ලයිබ්රියෙ දි. පොත් රාක්ක පහු කරගෙන පහු කරගෙන ඇවිල්ලා එකම පොතක් ගාව නතර වුණා අපි.

ඒ සෝම හාමුදුරුවන්ගෙ “ජාතිය සුරකින රන් අසිපත” පොත.

එයාටත් ඒ පොතම ගන්න ඕනෙ වුණා. මමත් හොය හොය හිටපු පොත ඒක යි. ඒත් සෆ්ර ගෙ බ්ලේඩ් තල බැල්ම මගෙ පිරිමි දහිරිය බිංදුවට හිංදෙව්වා. එයා පොත මගේ අතින් උදුරලා වගේ ගත්තා.

අරන්... ආයෙමත් මට දුන්නා. දීලා ආයෙත් පොත මාරු කරන්න එන දවස, වෙලාව කියලා කෝල් කරන්න එයාගෙ මොබයිල් ෆෝන් එකේ නම්බර් එක මට දුන්නා. ඉතිං අපි ආයෙමත් මුණ ගැහුනා. විහාර මහා දේවි එකේ බංකු උඩ සෝම හාමුදුරුවො ගැන කතා කලා. එයාගෙ තාත්තා මුස්ලිම් වුනාට එයා බුද්ධාගම විශ්වාස කලා. අපි ක්රෙස්කැට් ගියා, එම්. සී. ගියා, ගෝල් ෆේස් ගියා, ගල්කිස්සෙ බීච් ගියා... අන්තිමට ගෙවල් දෙකට මාට්ටුත් වුණා.

සෆ්රා ඉඳහිට හීනෙන් ඇවිත් මගේ ඇඟ උඩ නැගලා උල තියා ගත්තා...

මම දාඩිය දාගෙන චොර වෙලා මබ්බෝද වෙලා ඇහැරුණා...

ඒ මගේ ප්රථම ප්රේමය.

... දෙවෙනි ප්රේමය තුෂාරි.

හැබැයි මගේ ප්රථම ප්රේමය පටන් ගත්තෙ දෙවෙනි ප්රේමයට පස්සෙ. ඒ මොන පිස්සු විකාරයක් ද? පළවෙනි එකට පස්සෙ දෙවෙනි එක මිසක් දෙවෙනි එකට පස්සෙ පළවෙනි එක වෙන්නෙ... ඒක වෙන්නෙ කොහොමද?

ඒක වුනේ මෙන්න මෙහෙම.

තුෂාරිට ඩේටා එන්ට්රි ඔපරේටර් පත්වීමක් හම්බවෙලයි අපේ ඔෆිස් එකට ආවෙ. ඒකත් එක විදිහක ක්ලාක් පට්ටමක් ම තමා. නම බරපතල වගේ පෙණුනට. කවුරු හරි තුෂාරිගෙන් රස්සාව මොකක්ද කියල ඇහුවම තුෂාරි එයාගෙ ලිප්ස්ටික් උලපු තොල් හරි ලස්සණට එහෙ මෙහෙ කරල “ඩේටා එන්ට්රි ඔපරේට” කියන කොට අහගෙන ඉන්න අයට තේරෙන්නෙ ඒක හරියට මැනේජින් ඩිරෙක්ටර් වගේ පෝස්ට් එකක් කියල. තුෂාරි අපේ ඔෆිස් එකට එනකොට කොණ්ඩෙ බෙල්ල ගාවින් කපලා. ලිප්ස්ටික්, කියුටෙක්ස් ගාලා, ඇහි බැමත් නීට් වෙන්න ගලවලා, ඇස් වටේ කළු පාටට ඇඳලා... හරි පිළිවෙලකට එයා එයාගෙ සිරුර නඩත්තු කළා. එයා සෆ්රා වගේ පැහැපත් නෑ. තලෙළුයි. නිතරම ඇන්දෙ ස්ලැක්ස්. ඉඳල හිටල ලොකු කරාබු දාල පන්ජාබ් කිට්, නීට් එකට මැදපු කපු සාරි එහෙමත් ඇන්දා. මුලදි මට එයා ගැන අමුතු ආකර්ෂණයක් තිබුණෙ නැහැ. එයත් උදේ හවා මග තොටේ දකින අනිත් ගෑණු ළමයි වගේමයි මට පෙණුනෙ. එයා ඔෆිස් එකේ දි පොඩි විහිළුවකටත් පොඩි එකෙක් වගේ මහ හයියෙන් තේරුමක් නැතුව හිනා වුණා. ගෑණු අයත් එක්ක ඉන්නවට වැඩිය පිරිමි කාණ්ඩෙත් එක්ක වැඩිපුර කතා බහට ආවා. නිතරම මොබයිල් ෆෝන් එකෙන් එස් එම් එස් යැව්වා. (කාට යැව්ව ද මන්ද...). එයා ආකර්ෂණීය නැති වුනාට ඉබේම ඔෆිස් එකේ කොල්ලන්ව ආකර්ෂණය කර ගන්න එයාට පුළුවන් වුණා. එයා අපි හැමෝම එක්ක යාළු වුණා. අනේ මන්ද එයා ඒක කොහොම කලා ද කියල. තුෂාරි එයාගෙ ඇඳුමෙ පාටට ජුවලරීස් දැම්ම. ඒ පාටට කියුටෙක්ස් ගෑවා. මට මුල දි ඒව මහ විකාර වැඩ වගේ පෙණුනට පස්සෙ පස්සෙ ඒවයෙ අමුතුම ලස්සණක් පේන්න ගත්ත.

දන්නව ද? දවසක් මාර වැඩක් වුණා.

එදා ලන්ච් අවර් එකේ දි අපේ සෙට් එක ෂොපින් ගියා. තුෂාරි ගියෙ නෑ... බඩ රිදෙනවා කියල. එයා එදා ඇඳල හිටියෙ තද රතු ස්කර්ට් එකකු යි, සුදු පාට හිරම හිර බ්ලවුස් එකකු යි කියන්න මට හොඳට ම මතකයි. තුෂාරි බඩ රිදෙනවා කිව්වම කොල්ලො සෙට් එක “හා හා හොරේ දැණුනා දැණුනා ...” කිව්ව. තුෂාරි අනිත් අයට හොරා මට එදා ලන්ච් අවර් එකේ එළියට යන්න එපා කිව්ව. අනේ මමත් ගොනා වගේ නතර වුණා. එදා තුෂාරි උයාගෙන ඇවිත් තිබුණෙ හාල් මැස්සො තෙල් දාලයි, තෙම්පරාදු කරපු පොල් සම්බෝලයි, ගොටුකොළ මැල්ලුනුයි, පරිප්පුයි, බතුයි. එයා ලොකු බත් එකක් ගෙනත් තිබුණ. ඉතිං අපි දෙන්නා දෙන්නගෙ ව්යංජන මාරු කරගෙන කෑව. කන ගමන් තුෂාරි දෙතුන් පාරක් ඇස් හීන් කරල අමුතු විදිහට මගෙ දිහා බැළුව. මාත් ඉතින් ඔහෙ ඇලේට හිනා වුණා. කන ගමන් එයා මගෙ ගෙදර විස්තර ඇහුව. එදා ඉඳන් අපි දෙන්න අතරෙ මොකක්දෝ අමුතු බැඳීමක් ඇතිවුණා. අපි කන්න ගියෙ එකට, එයයි මායි ෂොපින් ගියෙත් එකට. අපි එකිනෙකාට 'I LOVE YOU' කියා ගත්තෙ නැහැ. ඒත් අන්තිමට අපි ආදරේ කරන්න පටන් ගත්ත. ඒ වෙනකොට අපේ ඔෆිස් එකේ මට ඇර අනිත් හැමෝටම කෙල්ලො හිටිය. සමහර උන්ට දෙක දෙක... මාලන් ට කෙල්ලො තුනක් හිටිය.

ඇත්තටම තුෂාරියි මමයි ආදරේ කලේ මහ අමුතුම තාලෙකට. අපි දෙන්නා එකට ගමන් බිමන් ගියා. පාරෙ ඇවිදින කොට අත්වැල් පටල ගත්තා. බස් එකේ පිටිම පස්සෙ සීට් එකේ මුල්ලට වෙලා අපි දෙන්නටම අදාල නැති විකාර දෙඩෙව්වා. එහෙම වෙලාවට තුෂාරි කිව්වෙ තුෂාරිගෙ නංගිගෙ යාළු කොල්ලා ගැනයි, ඌ නංගිට ගෙනත් දෙන තෑගි ගැනයි. මාත් ඔය කටට එන විකාර කියෙව්වා. අපි සමහරදාට හවසට අසපුවට ගියා. එතන තුෂාරිට හරි පුරුදු තැනක්. අපි කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ බණ ෆෝන් එකෙන් ඇහුවා. පිච්ච මල් පූජා වලට ගියා. ඒවාට තව හුඟක් කෙල්ලො කොල්ලො ආවා. ඒ හාමුදුරුවන්ගෙ බණ හරි ආත්මීය යි. ඒ බණ අහල දවසක් තුෂාරියි මමයි ඇවිදගෙන එනකොට “අපි දෙන්නත් හරියට සිදුහතුයි යශෝධරයි වගේ ආත්මෙන් ආත්මෙ පතාගෙන එන දෙන්නෙක්” තුෂාරි මගෙ කණට කෙඳිරුවා. මම තුෂාරිගෙ නළල ඉම්බා. මගෙ හිතට ලොකු සැනසීමක් දැණුනා. මොනවා නැතත් සංසාරෙ පුරාවට මගෙ ළඟින් කවුරු හරි කෙනෙක් තනියට ඉන්නවනෙ. හාමුදුරුවො විස්තර කරන සංසාරෙ පාළු භයංකාර ඉවරයක් නැති වේදනා පිරිච්ච ගමනෙදි එකට යන්න, ජීවිතේ බෙදා හදා ගන්න, තව කෙනෙක් ඉන්නවා කියන එකත් ලොකු හයියක් නෙ. අඩුම තරමෙ මැරෙණ මොහොතක කටට වතුර උගුරක් දාන්න හරි කෙනෙක් ඉන්න එකම මදෑ. ඊටත් ජීවත් වෙන්න අරමුණක් එපායැ. ඔෆිස් යන එන එකට අමතරව මට ජීවිතේට වෙනසක් ඕනෙ වෙලා තිබුණ. අපි ගෙවල් දෙකට අපේ සම්බන්ධෙ ගැන කිව්ව. අනිත් අයට ඒක දැනෙන්න ඇරිය. ඉතිං... අපි අපේ වෙඩින් එකට සල්ලි එකතු කළා.

දවසක් හවසක බොරැල්ලෙ කොටා රෝඩ් ස්ටේෂන් එකේ දි බළලෙක් මල්ලෙන් එළියට පැන්න.

“මං ඔයාට කියන්නම යි හිටියෙ, නැත්තං පස්සෙ ඔයා මට දොස් කියයි ...” තුෂාරි මහපටැඟිල්ලෙන් සිමෙන්ති පොළව හාර හාර කෙඳිරි ගෑවා..

“කියන්න සුදු මට ඔයාට බනින්න බැහැ කියල ඔයා දන්නවනෙ ...” මම සැකෙන් කිව්වා.

තුෂාරි මූණ වහින්න ඔන්න මෙන්න අහසක් කර ගත්තා..

“මට කලින් බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් හිටියා ...” ඒකි කෙඳිරුවා.

“මටත් කලින් ගර්ල් කෙනෙක් හිටියා ඔයාගෙ හිත රිදෙයි කියලයි මම නොකියා හිටියෙ...” මට කියවුණා.

මටම පුදුමයි ...! එහෙම හිතන්නත් කලින් මට බොරුවක් කියවුනේ කොහොමද? තුෂාරි ඒක ලෝක පුදුමෙ වගේ ගැස්සුණා.

“ඉතිං කියන්න ඒ බෝයි ගැන...”

“ඔයාට මතකද කස්ටමර් සර්විස් එකේ හිටපු නිලාන්... අර කැන්ඩි බ්රාන්ච් එකට මාරු වෙලා ගියෙ...?”

නිලාන් සුදු උස මහත, ජිම් යන, නිතරම වලි දා ගන්න, බුවෙක්. හොඳ හයේ හතරෙ පොරක්. මට මිනිහගෙයි තුෂාරිගෙයි අතරෙ කිසිම කිසි ගැලපීමක් පෙණුනෙ නැහැ. නිලාන් එක්ක බලනකොට තුෂාරි ඩිම් වෙච්ච වොට් හතළිහකටත් අඩු බල්බ් එකක් වගේ. එතන සීරියස් ලව් එකක් තියෙන්න ඇති කියලා හිතනකොටත් මගෙ ඔළුව විකාරයි වගේ. ඒ යකා කවදාවත් මගෙත් එක්ක යන්නං මචං, එන්නං මචං කියනවට වඩා යාළු කමක් තිබිලා නැහැ. ඌට හිටියෙ ඌ වගේම යාළුවො සෙට් එකක්. තුෂාරිට බඩු හරි ඇති කියලමයි මගෙ හිත කිව්වෙ. මගෙ හිතේ හිටපු කෙල්ල පිරිසිදු නිර්මල මට විතරක්ම ආදරේ මාවම පතාගෙන එක කෙනෙක්.

ඒත් මගෙ කට කියවන්න ගත්තෙ වෙන දෙයක්. “ඕවා ඔහොම තමයි බබා... මටත් ගර්ල් කෙනෙක් හිටියනෙ...” තුෂාරි එයා ගැන අහන්න ගත්තා. ඔන්න සෆ්රා ඉපදුනා. ඇත්තටම එහෙම බොරු වැලක් එක පාරටම හිතට එන්නෙ කොහොමද? ඒ බොරු කලින් ඉඳන්ම මගෙ හිතේ තිබුණද? මටත් වඩා අවුරුදු හතරක් බාල තුෂාරිගෙ පළවෙනි කොල්ලා මම නෙමේ කියලා ඒකි කියනකොට, ඒකි මගෙ පළවෙනි කෙල්ල කියන්න මට නිකන් බෑ බෑ වගේ. මං නිකං වැඩීම බාල වෙච්චි එකෙක් වගේ මට දැනෙන්න ගත්තද? අනේ මන්ද. සෆ්රයි මමයි ආ ගිය තැන් පවා මම තුෂාරිට පෙන්නුවා. කොටින්ම විහාර මහා දේවි එකේ අපි වාඩි වෙලා හිටපු බංකු පවා. දැන් සෆ්රා රට... අපේ සම්බන්දෙ කඩන්න සෆ්රගෙ තාත්ත එයාව රට යවල.

මමයි තුෂාරියි කොහොම හරි මේ අවුරුද්දෙ බඳිනවා. එයා අඳින්නෙ කැන්ඩියන් ලු. තුෂාරි කියනවා සෆ්රටත් වෙඩින් කාඩ් එකක් දාමුලු. එයා නිලාන්ටත් එකක් දාන්නම්ලු. නිලාන් එයාව දාලා ගිහින් තියෙන්නෙ ආදරේ නැති නිසා නෙමේ. අම්මට පිටු පාන්න බැරි නිසා. එයාගෙ අම්මට ඕනෙ වෙලා තියෙන්නෙ උඩරටින් ම නිලාන්ට කටයුත්තක් කරවන්න.

අපි දැන් නිතරම අසපු ගිහින් භාවනා කරනවා. තුෂාරිට ලාවට ලාවට දැන් ආලෝක පහල වෙනවලු. එතනට එන හුඟක් අය දැන් එක එක ජාතියෙ සමාපත්ති පහළ කරගෙන. මම භාවනා කරනකොට... සෆ්රා මගෙ හිතට එනවා. දැන් එයා හීන් රත්තරං පාද සළං දෙකක් දාලා. බුරියට චූටි කරාබුවක් දාලා. ඉස්සරට වඩා හුඟාක් ලස්සණයි. එයා මගෙත් එක්ක දඟ කරනවා, මගේ වටේ එතෙනවා. මම එයාව ඉඹිනවා, හපනවා. අපි එකට තුරුළු වෙලා පැය ගණන් ඉන්නවා. මම හොඳට භාවනා කරනවා කියල තුෂාරි කියනවා. එයා කියනවා මටත් ජිම් යන්නලු. සික්ස් පැක් එක හදා ගන්නලු. මගෙ බඩ ආරමින් එනවා. ශරීරෙ නෙමේ වැදගත්... හිත...! ශරීරෙ කියන්නෙ... කැටයම් කරපු අසූචි කළයක්, මම කියනවා.

අපි මේ දවස් වල බැඳලා පදිංචියට යන්න බොරැල්ල කිට්ටුව ලාබ ඇනෙක්ස් එකක් හොයනවා. තවම හම්බ වුනේ නැහැ. හැම එකේම ගණන් අපිට දරන්න බැරි තරම් ලොකුයි.


Isuru Chamara Somaweera | ඉසුරු චාමර සෝමවීර

ආදරණීය නිමාලි වෙතටයි


2002. 2. 27

තෙරුවන් සරණයි !

ආදරණීය නිමාලි වෙතටයි,

මට වැරදූනා. නිමාලි, මට ඔයාට ආදරණීය නිමාලි කියලා ලියන්න අයිතියක් නැහැ. ඔයා දන්නවා ඇතිනෙ දැන් මම රස්සාවට යන්නෙ නැහැ. මේ දවස්වල අත මිට හරි හිඟයි. ඒත් මං හොඳින් ඉන්නවා. ජීවිතේ කවදාවත්ම නොදැනිච්ච නිරෝගීකමක් දැන් මට දැනෙනවා. ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. මං මේ ලියන්නෙ ගිගුම්ගෙ බෝඩිමේ ඉඳන්. එදා හවස ඔයා ගෙදරින් ගිය ගමන්ම වගේ මාත් ගෙදරින් ආවා. දොරේ යතුර අර අඹ ගහ මුල තියන බෝගන්විලා පෝච්චිය යට ඇති. ඒ ආපු ගමන් තාමත් මම ගිගුම්ගෙ බෝඩිමේ.



අම්මලා; අපේ අම්මලා, ඔයගොල්ලන්ගෙ අම්මලා, හැමෝම මාව හොයනවා ඇති. ඒත් කරන්න දෙයක් නැහැ. මට තීරණේකට එන්න, හිත හදා ගන්න ටික දවසක් ගියා. ඒකයි මම හැංගිලා හිටියෙ.

ඉතිං.....? කියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් ගිගුම්ගෙ මේස ලාච්චුවෙ තියෙන්නෙ කොළ බොහොම පොඩ්ඩයි. පුළුවන් තරම් කෙටියෙන් මම ලියන්නම්. මේ එක්කම අපේ ගෙදරටත් ලියුමක් ලියන්න ඕනෙ. එක අතකට මට තීරණය කරන්න දේකුත් නැහැ. හැමදේම ඔයාලා තීරණය කරලා, තීරණය වෙලා ඉවරනෙ. මට තියෙන්නෙ ඔළුව නමන්න විතරයි.

මං දන්නවා මේ ඔක්කොටම මුල අර රමණි කියන පරට්ටිගෙ කේළං. එක අතකට මං රමණි ගැන නරකෙට හිතන එක වැරදියි. මමයි එතන වැරදි. වැරැද්ද රමණිට කලින්, බොහොම කලින් ඔයාව කසාද බඳින්න කලින් ඒ දේවල් ඔයාට නොකියපු එකයි. රමණි ඔයාගෙ යාළුවා. එයා ඔයාට උදව් කළා. දැන් මට හිතෙනවා මට කියා ගන්න බැරුව තිබිච්ච ඒවා ඔයාට කියලා රමණි මටත් කළේ උදව්වක් කියලා. රමණි නිතරම ඔයාව හම්බවෙන්න එනවා ඇතිනෙ. කියන්න රමණිට මං බොහොම ස්තුතියි කිව්වා කියලා. දැන්නම් ඔයාට කියන්න රමණි ගාව ඒ තරං දෙයක් නැතුව ඇති. මං මෙහාට ආපු දා ඉඳලා ගිගුම් ඔෆිස් යන්නෙ කෝච්චියෙ නෙමේ.

මට ඔයා ගැන ලොකු දූකක් තියනවා. මගෙ අම්මා තාත්තා ගැන ලොකු දූකක් තියනවා. පපුවෙ ලොකු ගලක් හිරවෙලා වගේ වෙලාවකට මට දැනෙනවා. ඒත් මං දැන් මේ ගෙවන්නෙ මගෙ ජීවිතේ නිදහස්ම දවස්. මොකද මම දැන් මම ම නිසා. රමණි කිව්වට වැඩිය දේවල් , ඔයාට මං කිවයුතුව තිබුණු ඒත් නොකිව්ව දේවල් මම දැන් ඔයාට කියන්නම්. මං එහෙම කියන්නෙ ඒ දේවල් ඔයාට දැන ගැනීමේ අයිතියක් තියනවා කියලා මම විශ්වාස කරන නිසා. අනික මට තවදූරටත් මාව සැහැල්ලු කරගන්න උවමනා නිසා.

එදා හවස මං ගෙදරට ආපු ගමන්ම ඔයා මට දමලා ගැහුවෙ මං පිළිකුල්ම කරන වචනෙං. ඒකෙන් මාව රිද්දෝපු පළවෙනියා ඔයා නෙමේ. හැබැයි අන්තිමයත් ඔයා නොවෙන වග මම දන්නවා. එදා මම එනකොට දොරවල් ජනෙල් ඔක්කෙම වහලා තිබිච්ච නිසා මම හිතුවෙ ඔයා ඔෆිස් ඇරිලා ඇවිල්ලා නැතුව ඇති කියලා. ඒත් ඔයා අපේ කාමරේ ඇඳ උඩ කරුවලේම , සාරිය පිටින්ම , කොණ්ඩෙ කඩාගෙන , කොට්ටයක් තුරුල් කරන් ඉන්නවා දැක්කම මට තේරුණා කොතන හරි මොනවා හරි වැරුද්දක් සිද්ද වෙලා තියනවා කියලා .

"ponce....."

ඔයා ලිප්ස්ටික් බොඳ වෙච්ච ඔය ලස්සන තොල් උල් කරලා ගිරිය යටින් බළල් සද්දෙකින් කෑ ගැහුවා. මට හැම දෙයක්ම හොඳට තේරුණා.

මුලින්ම මට ඔය ජරා තුප්පහි වචනෙන් බැන්නෙ අපිට අටේ පංතියෙදි පී . ටී කරපු කුලරත්න සර් '' නිකං ponce කෙනෙක් වගේ නැතුව හොඳට අත උස්සලා බෝල් කරපං බුරුවො '' ක්රිකට් ප්රැක්ටිස් වලදි සර් මගෙ ඇඟට කඩන් පැන්නා. අපේ පංතියෙ හිටිය ක්රීඩා වලට අදක්ෂම ළමයා මම. ponce කියන වචනෙට මලලසේකර ඩික්ෂනරියෙ දීලා තියන තේරුම ගණිකාවන්ගෙන් යැපෙන්නා. එදා කුලරත්න සර් බැන්නට පස්සෙ මම මං අද තව වෙනකං බෝලයක්වත් බැට් එකක්වත් අතින් අල්ලලා නැහැ. එදායින් පස්සෙ පී. ටී තියන දවසට එක්කො මම ඉස්කෝලෙ යන්නෙ නැහැ. එක්කො මට පී. ටී පීරියඩ් එකේදි බඩේ අමාරු , ඔළුව කැක්කුම්, කලන්ත හැදෙනවා. අපේ පංතියෙ කොල්ලො මං දිහා බැලුවෙ බිඳෙන වීදූරු බඩුවක් දිහා බලනවා වගේ. සමහරවිට මං නැති තැන උං මට හිනා වෙන්න ඇති. මං බොහොම කීකරු නිෂ්ශබ්ද ළමයෙක් හින්දා, ගුරුවරුන්ගෙ සුරතලෙක් හින්දා උං මං දිහා බැලුවෙ උංගෙ ගොඩට අයිති නැති පිටස්තර සතෙක් දිහා බලන විදියට. මට ඉස්කෝලෙදි කවදාවත්ම කිසිම කිට්ටු යාලුවෙක් ඉඳලා නැහැ. සමහරුන්ට මාත් එක්ක යාලු වෙන්න ඕන වුනත් මම හැමෝවම ආශ්රය කලේ දූරක ඉඳන්. ඒක මං හිතලා කරපු දෙයක් නෙමේ ඉබේ වෙච්චි දෙයක්. දූරින් මං ආශ්රය කරපු උං මාව ආශ්රය කලේ ගෙදර වැඩ කොපි කර ගන්න. මං උංව ආශ්රය කලේ මං තනියම නෙමේ ඉන්නෙ කියලා අනිත් අයට අඟවන්න. මගෙ යාළුවො වුණේ පොත්. අයියලා හවසට වෙලේ ක්රිකට් ගහන්න සරුංගල් අරින්න යනකොට නංගිත් ඒ පස්සෙන් දූවනවා. ඒත් මං ඉරිදා පත්තර ටික ළඟට කරගෙන අකුරක් නෑර කියවනවා.

පුංචිම කාලෙ ඉඳලා මං දැනගෙන හිටියා මං අනිත් අයගෙන් වෙනස් කියලා. මොකක්ද ඒ වෙනස කියලා මට පැහැදිලි තේරුමක් තිබුණෙ නැහැ-----. ඒක කායික වෙනසක් නෙමේ කියන්න මම දැනගෙන හිටියා. තාත්තා තිරිකුණාමලේ ඉඳලා නිවාඩුවට ගෙදර ආවම මට වැඩිය හුරතල් කලේ අයියවයි නංගිවයි. '' මේකා හරි සෝමාරියිනෙ '' කියලා තාත්තා මං දිහා බැලුවෙ තෙම්ච්ච බළල් පැටියෙක් දිහා බලනවා වගේ.

මං නිතරම පොත් වලටම ඇලීගෙන ඉන්න නිසා අම්මා බය වුණේ මගෙ ඇස් දූර්වල වෙයි කියලා. මං පොත් කියවනකොට අම්මා මට තේ හදලා ළඟට ගෙනත් දෙනවා. එයා දැනං හිටියා මං වෙනස් කියලා. මට හොඳටම විශ්වාසයි අම්මා අයියටයි නංගිටයි දෙන්නාටම වඩා මට ආදරෙයි කියලා. ලොකු අම්මලගෙ, නැන්දලගෙ, මාමලගෙ ළමයි අතරෙ මං හරි විශේෂ වුණා. කවුරු හරි ළමයෙක් දඟ වැඩක් කලොත් වැඩිහිටියො කිව්වෙ '' බලන්න නුවන් පුතා, ඔය විසේ නතර කරලා එයා වගේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවකො '' කියලා. ඒත් මං පාඩුවෙ ඉඳලා වින්ද ඒ හුදකලාවෙ වේදනාව කාටවත්ම තේරුණේ නැහැ. නෑදෑයන්ගෙ ළමයි මං දිහා බැලුවෙ සර්පයෙක් දිහා බලනවා වගේ හිරිකිතෙන්.

එක අතකට මේ පරණ යාං හෑලි ඔයාට වැඩක් නැතුව ඇති. ඒත් මං මේවා ඔයාට කියන්නම ඕනෙ. මුලින්ම මට ආදරයක් හිතුණෙ දහයෙ පංතියෙදි අපට සිංහල උගන්නපු සර් කෙනෙකුට. එයා උගන්නන්න පංතියට එනකොට මගෙ පපුව ගිඩි ගිඩි ගෑවා. ගෙදරදි පොත් කියවද්දි මට එයාව මැවිලා පෙනුනා. ඒ කාලෙ මම නිතරම දවල් හීන බැලුවා. ඒක කවුරුවත් නොදන්න ඒකපාර්ශවීය ආදරයක් . ගිගුම්ට වුණත් මං ඒ ගැන කිව්වෙ මේ ළඟදි. ඒ සර් අපිට ගණන් උගන්නපු කෙට්ටු කැත මිස් කෙනෙක්ව කසාද බැඳලා මාරුවක් අරන් එයාගෙ ගමට ගියා. මේවා කියවනකොට ඔයාගෙ මුණ අප්පිරියාවෙන් විරූපි වෙන හැටි මට පේනවා පේනවා වගේ.

මාත් ඒක පංතියෙ එකට හිටපු ළමයි කෙල්ලො ගැන උනන්දූ වෙනකොට, විභාග වලින් ලකුණු අඩුවෙන් ගන්නකොට මං ඒ හැමොටම වඩා ලකුණු අරගෙන විභාග පාස් කරගෙන කරගෙන ගියා. ඔයා විශ්වාස කරයිද මංදා ඒ ලෙවල් ක්ලාස් එකේදි මාත් කෙල්ලෙක් එක්ක යාළු වුණා. හරියටම කිව්වොත් ඒකි මගෙත් එක්ක බලෙන් යාළු වුණා. ඒ දීපිකා. ඒ කාලෙ මම මම කවුද කියලා තේරුම් අරන් හිටියෙ. ඒත් මම එයත් එක්ක යාළු වුණා. ඇත්තටම කිව්වොත් ඒක වටේ පිටේ අයට පේන්න කරපු ප්රදර්ශනාත්මක ආදරයක්. ඒකි ආදරේ කලේ මට නෙමේ ඉස්කෝලෙ මට තිබිච්ච පිළිගැනීමට. මං ආදරේ කලෙත් ඒකිට නෙමේ ඒකි මාත් එක්ක ගැවසෙනකොට වට පිට අය දකින දේට. ඒකට මොකක්ද කියන වචනෙ ? අපේ සම්බන්දෙ ගැන ඉස්කෝලෙ හුඟක් දෙනා පුදූම වුණා. ඒකිත් එක්ක තනි වුණාම මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ. මම කියෙව්වෙ මං කියවපු පොත් ගැන මට හිතෙන දේවල්. ඒකිට ඒවා තේරුණාද මම දන්නෙ නැහැ. ඒකි ඇස් දිලිසෝ දිලිසෝ මං දිහා බලන් හිටියෙ . හිටපු ගමන් මගෙ අත් වලින් අල්ලගෙන ඇස් වලට එබුණා. මං කවදාවත්ම ඒකිට ''මං ඔයාට ආදරෙයි ''කියලා නැහැ . අන්තිමට ඒකිත් ඔයා වගේ භූමි කම්පාවක් ඇති කරලා ගියා. මම එදා එයත් එක්ක කියව කියව හිටියෙ මං කියවපු රුසියන් කෙටි කතාවක් ගැන. එයා හොඳට ඒවා අහගෙන හිටියෙ වෙනදටත් වැඩිය උනන්දූවෙන්. අපි එදා හිටියෙ ඉස්කෝලෙ පිට්ටනිය අයිනෙ අරලිය ගහක් යට. එකපාරටම දීපිකා මගෙ අත ඇල්ලුවා, ආයිත් අත ගසලා දැම්මා. ගස්සලා යන්න ගියා. එච්චරම තමා. පස්සෙ ඒකි අපේ පංතියෙම වෙන කොල්ලෙක් එක්ක යාළු වුණා. ඒත් ඉන්පස්සෙ ඒකි මං ගැනවත් අපේ සම්බන්දෙ ගැනවත් කිසිම කෙනෙක් එක්ක කිසිම දෙයක් කියලා තිබුණෙ නැහැ. ඒ කාලෙ වෙනකොට මට ඉගෙන ගන්නත් එච්චර උනන්දූවක් තිබුණෙ නැහැ. මං දැනං හිටියා මාව විභාගෙන් පාස් වෙන බව. මං ඔහෙ අතට අහුවෙන පොත් කියව කියව හිටියා.

දීපිකා ඈත් වුණාට පස්සෙ මට තව කෙල්ලෙක් එක්ක යාළු වෙන්න වුවමනා වුණේ නැහැ. මට ඕනෙ වුනේ මම ම වෙන්න. මං ඒ දවස් වල පත්තරවල ගැටළු තීර වලට බොරු නම් ගම් එක්ක මගෙ ගැටළුව ලියලා දානවා. එක දොස්තර කෙනෙක් කියලා තිබුණෙ කළල අවධියෙ අම්මගෙ ගර්භාෂෙ ඇන්ඩ්රොජන් සාන්ද්රනය අඩු වුනාම උපදින ළමයි පස්සෙ කාලෙක තමන්ගෙම ලිංගෙ අයට ආකර්ෂණය වෙනවා කියලා. තව කෙනෙක් මේක ජාන වලින් එන දෙයක් ය , තවත් දොස්තර කෙනෙක් මේක පෞරැෂ වර්ධනයෙ ප්රශ්නයක්ය වගේ උත්තර දීලා තිබුණා. හැබැයි මේ හැම කෙනාගෙම උත්තරය වුණේ මේක ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑය, එහෙම නැත්තං මේ ගතිය පස්සෙ ඇරේවිය, අනවශ්ය දේවල් හිතන්නෙ නැතුව අධ්යාපනයට හිත යොදවන්නය, කසාදයක් බැන්දහම හරියා ය වගේ අදහසක් . දෙයියනේ තමන්ගෙ අවශ්යතාවය අනවශ්යය දෙයක් වෙන්නෙ කොහොමද?

ඒ ලෙවල් ඉවර වෙචිච ගමන්ම මට කච්චේරියෙ රස්සාව හම්බ වුණා. ඒකට ගොඩක් උදව් කලේ තාත්තගෙ යාළුවා පෙරේරා අංකල්. ඒ දවස් වල මං සෑහෙන්න ඇවිස්සිලා හිටියෙ. බස් එකේ , කෝච්චියෙ, පාරෙ ඔය කොහෙදි හරි වුණත් මං කැමති විදියෙ පිරිමියෙක් දැක්කම මාව ගිනි ගත්තා. සමහර මිනිස්සුත් එක්ක මං අනවශ්ය විදියට හිනා වෙනකොට, මුණ දිහා බලා ඉන්නකොට ඒ අය අපහසුතාවයට පත් වෙලා අහක බැලුවා. සමහරු මහ කැත විදියට කටවල් හදලා හිනා වුණා. දවසක් නුගේගොඩදි . . . . . එක අතකට මේවා ඔයාට කියන එක තේරුමක් නැති වැඩක්. ගොඩක් වෙලාවට ඔයා මේවා තේරුම් ගන්න එකකුත් නැහැ.

මං රස්සාවට යන්න අරන් මාස හයකට විතර පස්සෙ තමයි ගිගුම්ව හම්බ වුණේ. ඔෆිස් යද්දි කෝච්චියෙදි තමයි මම ගිගුම්ව මුලින්ම දැක්කෙ . මතකද ඔයාව බලන්න මං අම්මලත් එක්ක ඔයාලගෙ ගෙදර ආපු දවස ? එදා ඔයා මාව දැකලා ඔයාට හිතිච්ච දේවල් පස්සෙ දවසක මට විස්තර කලා. ඒ වගේ දෙයක් තමා ගිගුම්ව දැක්කම මටත් දැනුනෙ. ගිගුම් ගියෙත් මං ගිය කෝච්චි පෙට්ටියෙමයි. එයා කෝච්චියට අළුත්. මුල් දවස් වල අපි හිනා වුණා විතරයි. එයාගෙ හිනාව හරි ලස්සනයි. පස්සෙ පස්සෙ අපි පොඩි පොඩි දේවල් ගැන කතා බහ කලා. කෝච්චියෙ තද බදේ ගැන, වැස්ස ගැන, ඡන්දෙ ගැන. එයයි මමයි හොඳ යාළුවො වුණා. එයා කෝච්චියට නැග්ගෙ මම නැගලා ස්ටේෂන් දෙකකට විතර පස්සෙ තියන ස්ටේෂන් එකකින්. මම හැමදාම එයා කෝච්චියට නඟිනකං බලන් ඉන්න පුරුදු වුණා. එයත් නඟින්න කලින්ම බෙල්ල දික් කර කර මං ඉන්නවද බැලුවා. අපි හැමදාම ගියෙ හිටගෙන. හවසට එනකොට එයා ආවෙ පහයි පහේ කෝච්චියෙ. මම ආවෙ පහයි හතලිස් පහේ එකේ. ටික දවසකින් එයා මාත් එක්කම යන්න පහයි හතලිස් පහ වෙනකං කොටුවෙ ස්ටේෂන් එකේ ඉන්න පුරුදු වුණා. අපි බංකුවක් උඩ ඉඳන් එකිනෙකා දිහා බලන් හිටියා. මොන්ටිසෝරි යන ළමයි වගේ අත් වැල් පටලගෙන ඉවරයක් නැතුව චුරු චුරු ගගා කතා කලා. එයා නිවාඩු දාලා ගමේ ගිය දවසට මට මහ සොහොන් පාළුවක් දැනුනා. මං හැමදාම රැට නිදා ගත්තෙ ගිගුම් ගැන හිත හිත. උදේට නැගිට්ටෙත් එයා ගැන හිත හිත. මම දැකපු සමහර හීන වල එයයි මමයි එක එක දේවල් කලා. ගැස්සිලා ඇහැරුනාම මගෙ සරම තෙත් වෙලා තිබුණා. එයාගෙ අත අල්ලලා තියනවා ඇරෙන්න ඊට එහා දේකට ඒ වෙනකන් කවදාවත් මම ගිහින් තිබුණෙ නැහැ. ඒ වෙනකොට මටත් දරා ගන්න බැරි තරමට මම එයාට ආදරේ වෙලයි හිටියෙ. මට බය හිතුණා එයාට ඒක තේරිලා මාව දාලා යයි කියලා. ඒත් පපුව පිරෙන්න මං එයාට ආදරෙයි කියලා කියා ගන්නත් මට ඕනෙ කම තිබුණා. මට දැනුනා එයා අනිත් අයට වඩා වෙනස් සුවිශේෂ මනුස්සයෙක් කියලා. ඒත් දෙයියනේ මිනිහෙක් කොහොමද කටක් ඇරලා තව මිනිහෙකුට ආදරෙයි කියන්නෙ.

එක සිකුරාදාවක ගිගුම් මට ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලා. අපි ගියෙ සෙනසුරාදා. ෆිල්ම් හෝල් එකේ ලයිටි ඕෆ් කලාම මම සැරින් සැරේ එයා දිහා බැලුවා. එයත් මගෙ දිහා හොරෙන් හොරෙන් බලනවා මම දැක්කා. කළුවරේ එයාගෙ ඇස් දිලිසුනා. මට දැනුනා එයාගෙ අත මගෙ අතේ ගෑවෙනවා. මම මගෙ අත තව ටිකක් කිට්ටු කලා. එයා මගෙ දිහා බලලා හිනා වුණා හරියට හොර වැඩක් අහු වුණා වගේ. ඉස්සෙල්ලා එයාගෙ අත ඇල්ලුවෙ මම ද මගෙ අත ඇල්ලුවෙ එයාද කියලා අදටත් සමහර වෙලාවට මම හිතනවා. ටික වෙලාවකින් එයාගෙ අත මම සිනිඳුවට අත ගාමින් උන්නා. ටිකකින් හෝල් එකේ ලයිට් පත්තු වුණා. එයා මට මූණ දෙන්න බැරුව වගේ අහක බලා ගත්තා. මං අපි දෙන්නටම අයිස් චොක්ස් ගෙනාවා. මගෙ හිත ඇතුලෙ මහා කුණාටු දහස් ගාණක් හමම්න් තිබුණා. ඒක දරා ගන්න අමාරු සතුට කලවම් වෙච්ච සංකීර්ණ හැඟීමක්. අපි දෙන්නම නාඳුනන දෙන්නෙක් වගේ කතා බහක් නැතුව අයිස් චොක්ස් කෑවා. ආයිත් ලයිට් ඕෆ් කලාම ඉක්මන් වුණේ මමයි. මම එයාගෙ අතක් අරන් මගෙ අත් අතර තියලා මිරිකුවා. පස්සෙ මම ඒ අත සිනිඳුවට ආදරෙන් අත ගෑවා. මාව ගිනියම් වෙලා හිටියෙ. ඒක අමුතුම මත් ගතියක්. එයා සැරින් සැරේ මගේ දිහා බලලා යන්තමට හිනා වුණා. ෆිල්ම් එක ඉවර වෙනකොට අපි දෙන්නට දෙන්නා කවුද කියලා දන්නවා. හැබැයි ෆිල්ම් එකේ මොනවා තිබුණද කියන්න දෙන්නටම මතක නැහැ.

එදා මට දැනිච්ච නිදහස මහ පුදුම එකක්. ඒක නිකං හරියට අවුරුදු ගාණක් කූඩු කරලා හිටපු කැළෑ සතෙක් ආපහු කැළේට නිදහස් කරපුවාම ඌට දැනෙන හැඟීම වගේ එකක් . ඒක මහ පුදුම හැඟීමක් නිමාලි. අපි ෆිල්ම් එක ඉවර වෙලා කරුවල වැටෙන කල්ම ඔහෙ පාරවල් දිගේ ඇවිද්දා. හේතුවක් නැතුව හයියෙන් හිනා වුණා. ඇත්තටම අපි පියාඹමින් හිටියෙ. දකින මිනිස්සු හිතන්න ඇති අපිට පිස්සු කියලා.

මං සමහර සති අන්ත වල ගිගුම්ගෙ බෝඩිමට යන්න පුරුදු වුණා. ඒත් ගිගුම් කවදාවත්ම අපේ ගෙදර ආවෙ නැහැ. එයා එහෙම එනවට මම කැමති වුණෙත් නැහැ . ඒවා හුඟාක් ලස්සන දවස්. අපි පොඩි පොඩි ට්රිප් ගියා. සීගිරිය, පාසිකුඩා, ලෝකාන්තෙ වගේ තැන් වලට ගිහින් ලාබ හෝටල් කාමර වල නැවතුණා. නිවාඩු දවස් වලත් මම ගෙදර නැති වුණාම අම්මලා හිතුවෙ මං ගෑනු ළමයෙක්ව යාළු කරගෙන කියලා. මහ රැටත් මගෙ ෆෝන් එකට කෝල්ස් එස් එම් එස් එනකොට අම්මා අහනවා කවුද ළමයො ඔය හැටි කතා කරන්නෙ කියලා. යාළුවන්ගෙන් කියලා කියනකොට එයාගෙ නළල රැළි වෙන හැටි මම දකිනවා. මෙච්චර කල් හිටපු නැති යාළුවො එක පාරටම කොහෙන් පහළ වුණා ද කියලා එයා හිතන්න ඇති. දවසක් රෑක මං අහගෙන තාත්තා අම්මට කියනවා '' පුතාට මොකක් හරි හරි ගිහිල්ල වගේ, අහලා බලනවා'' කියලා. තාත්තා හිතාගෙන හිටියෙ මම අයියා වගේ නෙවෙයි බොහොම හිතල මතල වැඩ කරන කෙනෙක් කියලා. ඔය කාලෙ අයියා ගෙදරට හොරෙන් නිලු අක්කව කසාද බැඳපු අලුත. අයියගෙ හරි නිලු අක්කගෙ හරි නම ඇහුනත් ඇති තාත්තට පරල වෙන්න. නංගිගෙයි ප්රියන්තගෙයි පටලැවිල්ලත් ඔය දවස් වල තිබුණා. දැන් තාත්තයි ප්රියන්තයි කිරියි පැණියි වගේ වුණාට ඒ දවස් වල නයයි පොළඟයි වගේ. ඉතිං තාත්තා මං ගැන කප්පරක් බලාපොරොත්තු තියං හිටියා.

දවසක් දා හවසක අම්මා මගෙන් මගෙ ගෑනු ළමයා ගැන ඇහුවා. මම ගත් කටටම එහෙම දෙයක් නෑ කිව්වම අම්මා හොඳටම පුදුම වුණා. තාත්තට ඕනෙ වුණා මාව ඉක්මනටම බන්දන්න. අම්මලා මගෙන් අහන්නෙත් නැතුව ඒ දවස් වල මට මඟුල් හොයන්න පටන් ගත්තා. ඒ වෙනකොට මගෙයි ගිගුම්ගෙයි ආශ්රයට අවුරුදු හතරක් විතර ඇති . ඉරිදා පත්තර වල මංගල දැන්වීම් කියවන එක අම්මගෙ විනෝදාංශයක් වගේ වුණා. තව කපු ගෑනු දෙතුන් දෙනෙකුටත් අම්මලා ලේලියක් හොයන වැඩේ පවරලා තිබුණා. මම ගිගුම්ට මේවා කිව්වම එයා කිව්වෙ ඔයාට හරියි කියලා හිතෙන විදියට වැඩ කරන්න කියලා. මට එයාගෙ බෙල්ල මිරිකන්න තරම් කේන්තියක් ආවා. අපි මෙච්චර අවුරුදු ගාණක් ආශ්රය කලේ ඔය ටික අහගන්නද ? ඒ වෙනකොට මගෙ ඔළුවෙ හිටියෙ ගිගුම් විතරමයි. මං හිතුවෙ එයා මට '' අපි දෙන්නා මේ වගේ දේවල් නීතියෙන් පිළිගන්න රටකට යමු , එහෙම නැත්තන් අපි දුර පළාතකට පැනලා යමු '' වගේ උත්තරයක් දෙයි කියලයි . මං එහෙම හිතුවෙ එක පැත්තක් අමතකම කරලා දාලයි. ගිගුම්ගෙ පවුලෙ හිටියෙ ගිගුම් විතරමයි. එයාගෙ අම්මවයි තාත්තවයි බලා කියා ගැනීමේ වගකීම එයාට තිබුණා. වෙන රටකට ගිහින් අපි ජීවත් වෙන්නෙ කොහොමද?, යන්න වීසා ගන්නෙ කොහොමද ? යන්න සල්ලි දෙන්නෙ කවුද ? දුර පළාතකට පැනලා ගියොත් අපි ජීවත් වෙන්නෙ කොහොමද? කොහෙද? ඒ වගේ දේවල් ඒ දවස් වල මගෙ මෝඩ ඔළුවට ආවෙ නැහැ. මං හිතුවෙ මං ගැන විතරමයි. මට ඕනෙ වුණේ සදහටම ගිගුම්ව තුරුල් කරන් ඉන්න විතරමයි. ගිගුමුයි මමයි වයසට ගිහිල්ලා පරණ දේවල් කතා කර කර ඉන්න දවසක් ගැන හීන මැව්වා. මට ගිගුම්ගෙ උරිස්සෙ ඔළුව ගහගෙන අඬන්න ඕනෙ වුණා. ඒත් මම එහෙම කළේ නැහැ මගෙ තියන උද්දච්ච කමට.

අම්මලගෙ බල කිරිල්ලට මම ගියා මනමාලියො හත් අට දෙනෙක් බලන්න . ඒ හැමෝවම ප්රතික්ෂේප කරන්න හේතු මං හොයා ගත්තා. ඒ වැඩි දෙනා ඉරිදා පත්තර මනමාලියො. අන්තිමට මං ආවෙ ඔයාව බලන්න. ඔයාවත් එහෙම ප්රතික්ෂේප කළා නං කියලා පස්සෙ මට හිතිච්ච වාර අනන්තයි. ඒ වෙනකොට මට ගිගුම්ගෙ දෙපැත්තට වැනෙන කතා එපා වෙලයි තිබුණෙ. මට මගෙ අම්මයි තාත්තයි ගැනත් ලොකු දුකක් තිබුණා. ඒ අයට අයියවයි නංගිවයි දෙන්නම අහිමි වෙලා හිටියෙ. අයියා නිලු අක්කත් එක්ක ඇනෙක්ස් එකක් අරන් හිටියා. නංගි හිටියෙ ප්රියන්තලගෙ ගෙදර. තාත්තා පොඩි ළමයෙක් වගේ අසරණ වෙලා හිටියා. මාවත් එයාලට අහිමි වුනොත්, අම්මෙකුට තාත්තෙකුට විඳින්න බැරි තරම් ලොකු නින්දාවක් මං නිසා එයාලට විඳින්න වුනොත්. ඒක මහ පවක් කියලා මට හිතුණා. අන්තිමට මම අම්මලත් එක්ක ඔයාව බලන්න ආවා. අම්මලා කැමතිනම් මම ඔයා බඳිනවා කියලා ඔයාව දකින්නත් කලින් තීරණය කරන් හිටියෙ. ඔයා හෙප්පුවක් අරන් ලැසි ගමනෙන් මගෙ ඉස්සරහට ඇවිත් ලාවට හිනා වෙලා ඇස් කොනෙන් මගෙ දිහා බැලුවා. ගෙදර ඇවිත් හරි සීදේවි කෙළි පැටික්කි කියලා අම්මයි තාත්තයි ඔයා ගැන කතා වුණා. එතනින් පස්සෙ වෙච්ච හැම දේම ඔයා දන්නවනෙ, ඔයා මට සාප කරයි. ඒත් මම ඇත්ත කියන්න ඕනෙ. ඔයාගෙ කිසිම ලස්සනක් මම දැක්කෙ නැහැ. මම ඒ තකතීරු තීරණේ ගත්තෙ මං වෙනුවෙන් නෙමේ මගෙ දෙමව්පියො වෙනුවෙන්.

ගිගුම්ට මම බඳින බව කියන්න ගියාම එයා ඇහුවෙ '' හොඳට හිතලද තීරණේ ගත්තෙ '' කියලා විතරයි. මං බලාපොරොත්තු වුණා ගිගුම් අඬයි කියලා. ඒත් එයා ඇඬුවෙ නැහැ. මං එන්න හදනකොට ගිගුම්ට කතා කර ගන්න බැරි වුණා එයාගෙ යටි තොල වෙව්ලුවා. ඒත් එයා ඇඬුවෙ නැහැ. අමාරුවෙන් මවා ගත්ත හිනාවක් පෙන්නුවා. ගිගුම් ඒ වෙලාවෙ ඇඬුවා නම් මේ හැම දේම මෙයිට වැඩිය වෙනස් විදියකට ඉවර වෙන්න තිබුණා. '' අපි ආයෙ මුණ නොගැහි ඉමු'' කියලා එයා කිව්වා. මම ගෙදර ආවෙ මළ මිනියක් වගේ. ඇවිත් කාමරේ දොර වහගෙන පැය ගාණක් ඇඬුවා. ඊට පස්සෙ මට පොඩි සහනයක් දැනුනා. මම කෝච්චියෙ නොගිහින් බස් එකෙන් ඔෆිස් යන්න පටන් ගත්තා.

ඔයත් එක්ක රත්තරන් බඩු තෝරන්න, සාරි තොරන්න ගියාට මං හිටියෙ රොබෝ කෙනෙක් වගේ. මාව ඇතුලෙන් මැරිලා හිටියෙ. අපේ වෙඩින් එක දවසෙ වෙච්ච කිසි දෙයක් මට මතක නැහැ. ඒක නපුරු හීනයක් වගේ. එදා කිතුල්ගල හෝටලේදි ඔයා ඇඳේ මුල්ලක වාඩිවෙලා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්නකොට මට අපි දෙන්නා ගැනම ඇති වුණේ ලොකු දුකක් . මම ඔයත් එක්ක ඉන්නකොට ඇස් පියාගෙන ගිගුම්ව මවා ගන්නවා. ඒත් ඒක හරි අසාර්ථකයි. ඔයා ගිගුම් නෙමේ, මට ඔයත් එක්ක හිටපු හැම දවසක්ම මහ විකාර හිරිකිත දවස්. අපේ ගෙදර ඉන්න බැහැ වෙනම ගේකට යමු කිව්වම, දැන්ම බබෙක් හදන්න බැහැ අවුරුද්දක් දෙකක් ඉමු කිව්වම, බස් එකේ වැඩට යන්න බැහැ වෑන් එකකට දාන්න කිව්වම, දෙපාරක් හිතන්නෙ නැතිව මම කැමති වුණා, ඒ මං ඔයා ගැන දුක් වුනු නිසා.ඔයා උගුලක අහුවෙච්ච කෙනෙක් නිසා. ඒ උගුල ඇටෙව්වෙ කවුද? මම ද? මගෙ දෙමව්පියො ද? කවුද? අනේ මංදා. '' මොකද ඔයා මං කියන හැම දෙයක්ම හොයන්නෙ බලන්නෙ නැතුව හා කියලා කරන්නෙ....?'' දවසක් රෑක ඔයා කොණඩෙ පීර පීර ඇහුවා. මගෙ ඔළුව අවුල් වුණා. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ ගෑනියෙකුට ඕනෙ කරන්නෙ කරන කරන දේට එපා කියන පිරිමියෙක් කියලා.

ඔයාගෙ ඔළුවෙ ඉන්න පිරිමියා විදියට හැඩ ගැහෙන්න කොච්චර උත්සහ කළත් මට බැරි වුණා. හැමදාටම ජීවිතේ පුරාවටම ගෑනියෙක් එක්ක ඉන්න වෙලා තියනවා කියලා හිතුණම මට තද හිසරදයක් වගේ වුණා. ඒ දවස් වල ඔයා රෑට දුහුල් නයිටියක් ඇඳන් මගෙ වටේ හොර ගල් අහුලනකොට, එක එක කෑම ජාති හදලා කන්න කියලා මට බල කරනකොට මට ඔයාව මහ විකාරයක් වුණා. ''මට කරදර නොකර යනවා ඕයි'' කියලා එලව ගන්නවද ඔයාගෙ තොඳොල් වැඩ වලට එකතු වෙලා ඔයත් එක්ක හුරතල් වෙනවද කියලා මට හිතා ගන්න බැරි වුණා. මට ඔනෙ වුනේ ඔයාගෙන් හැංගෙන්නයි. මම පුළුවන් තරම් උදෙන් ඔෆිස් ගියා. පුළුවන් තරම් රෑ වෙලා ගෙදර ආවා. ගෙදර ඉන්න වෙලාවට පොතක් පත්තරයක් අරන් පැත්තකට වුනා. මං හිතන්නෙ ඔයාට මාව එපා වෙන්න ඇති. මට නං ඒක කල් කදුරු වගේ තිත්ත ජීවිතයක්.

ඔයා වුනත් පිළිගන්නවා ඇති කාට වංක වුනත් තමන්ගෙ හිතට වංක වෙන්න බෑ කියලා. ඒත් මං එහෙම පුළුවන් කියලා මගෙ හිතට ඒත්තු ගන්නව ගන්න හැදුවට මටත් ඒක කරන්න බැරි වුණා. ඔයාට මතකද එක ඉරිදාවක ඔයා ඔයාලගෙ මහ ගෙදර යන්න මට කතා කලා. ඔයාට ඕනෙ කලේ මාත් එක්ක සාප්පු ගානෙ යන්න, ඔයාගෙ ගෙදර අය ඉස්සරහා මාත් එක්ක හුරතල් වෙන්න. ඔයාගෙ අයියලත් එක්ක මම බොනවා බලන්න. එයාල දෙපිට කැපෙන කතා කියනකොට හීන් බළල් සද්දෙකින් හිනා වෙන්න. ඒත් මට ඒ දේවල් තිත්තයි නිමාලි. ඔයාට දැන්වත් මම කියන දේවල් තේරෙනවද? තේරෙන එකක් නැහැ. ඒ ඔයා ඔයාම නිසා. එදා මං කිව්වා මට ඔෆිස් එකේ හදිසි වැඩක් ඔෆිස් යන්න ඕනෙ කියලා. මං බොරු කියනවා කියලා ඔයා ඇඬුවා. මං ලෑස්ති වෙලා යන්න ගියා. ඇත්ත තමයි මම එදා ඔයාට කිව්වෙ බොරු. මට යන්න තැනක් තිබුණෙ නැහැ. මගෙ ඔළුව ගිනි අරන් තිබුණෙ. මං ඔහේ බස් වල නැගලා ගියා. මගදි මට හිතුණා ගිගුම්ව බලන්න යන්න.

මං එහෙ ගියෙ මාත් එක්කම යුද්ද කර කර. ගිගුම් බෝඩිමේ හිටියා. එයා ඇහුවෙ නෑ ඇයි ආපහු ආවෙ කියලා. එයා මාව ඇල්ලුවෙ නැහැ. දුරින් ඉඳන් ඔහෙ බලා හිටියා. මම එයා ළඟට ගිහින් එයාගෙ කර වටේ අත දැම්මම හැමදේම ලේසියෙන් පරණ තත්වෙට ආවා. එ් මං ආදරේ කරපු පරණ ගිගුම් ම යි. ගිගුම් මං එයාව දාලා ගියාට පස්සෙ තිබිචිච සම්බන්ධතා දෙකක් ගැන පාපොච්ජාරණය කලා. ඒවා නිකං ලිංගික සම්බන්ධතා. එයින් එකක් නතර වෙලා. අනිත් එක ගැනත් එයා හිටියෙ ලොකු කලකිරීමක. ආයෙමත් හැම දේම හොඳ වුණා. අපි එකට කෝච්චියෙ ගියා . සති අන්ත වලදි මුණ ගැහුනා. නිමාලි ඒ කාලෙ මම ඔයත් එක්කත් සතුටෙන් හිටියා. ඒක ලොකු බරක් ඔළුව උඩ තියාගත්තු සැහැල්ලුවක්.

කෝච්චියෙ යන අය අතරෙ ගිගුම් ගැනයි මං ගැනයි එක එක කටකතා තිබුණු බව අපි දෙන්නම දැනගෙන හිටියා. සමහරු අපිත් එක්ක කටපුරා හිනා වෙලා ආයි අපිටම ඇහෙන්න සමච්චල් කතා කිව්වා. රමණිත් එහෙම කියපු කෙනෙක්. මං දැනං හිටියෙ නෑ රමණි ඔයාගෙ යාළුවෙක් කියලා. අපේ තාත්තා ලෙඩ වෙච්චි දවස් වල මම දවස් ගාණක් නිවාඩු දැම්මා ඔයාට මතකනෙ. ඒ දවසක රමණි ගිගුම්ගෙන් අහල තියනවා '' ඇයි ඔයාගෙ බෝයි ෆ්රෙන්ඩ්ට වෙන කොල්ලෙක් සෙට් වෙලාද දැන් දකින්න නැත්තෙ '' කියලා. ගිගුම්ට හොඳටම තරහ ගිහින් රමණිට බැනලා. මම කවදාවත් හිතුවෙ නෑ මේවා මෙච්චර ඉක්මනට ඔයාගෙ කණට යයි කියලා. ඒත් දැන් ඒක වෙලා ඉවරයි.

තවදුරටත් මට ඔයත් එක්ක පවුල් කෑමේ වුවමනාවක් නැහැ. දැන් මටත් කලින් අනිවාර්යයෙන් ඔයා ඒ තීරණේ අරන් ඇති. '' ද්වේෂ සහගත ලෙස අතහැරයාම '' හරි '' ලිංගික අකර්මන්යතාව '' හරි වෙන මොන කෙහෙල්මලක් යටතේ හරි මට විරුද්ධව දික්කසාද නඩුවක් දාන්න. දැන් තියන තත්ත්වෙ උඩ මට චුදිතයා මිසක් පැමිණිලිකාරයා වෙන්න බැහැනෙ. ( මේ ලියුමත් ඔයාට වටිනා සාක්ෂියක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ) හොඳ වෙලාවට අපි බබෙක් හදන වැඩේ කල් දැම්මෙ. නැත්තන් අපේ ප්රශ්න වලට අසරණ කිරිසප්පයෙකුටත් වන්දි ගෙවන්න වෙනවා. අපි හිටපු ගේ ගන්න මං ගත්ත ණය තව අවුරුදු බර ගාණක් ගෙවෙන්න තියනවා. ඒක මම කොහොම හරි ගෙවන්නම්. ඒ ගේත් ඔයාගෙ නමට ලියන්නම්. ඔයා තාම හුඟක් තරුණයි. අලුත් ජීවිතයක් පටන් ගන්න තවම පරක්කු නැහැ. එහෙම කියලා මම ඔයාගෙ ජීවිතේට කරපු වැරැද්ද අඩු වෙන්නෙ නැහැ. ඒත් මට කරන්න පුළුවන් එච්චරයි.

මම ඔයාගෙනුයි, ඔයාගෙ දෙමව්පියන්ගෙනුයි සමාව ඉල්ලනවා මගෙන් වෙච්චි මේ දරුණු වැරැද්දට. හැබැයි මේ වෙච්චි දේවල් ගැන මම පසුතැවෙන්නෙ නැහැ. පසුතැවෙන්නෙ මං කසාද බැඳපු එක ගැන විතරයි. දැන් මට ආයි ඔෆිස් යන්න බැහැ. මේවා ලැව් ගිනි වගේ පැතිරිලා ඇති. ගිගුම් නම් තාම ඔෆිස් යනවා. මට බය එයාටත් ඔෆිස් යන්න බැරිවෙයි කියලා. ඉතිං නිමාලි ? මේක මේ ප්රශ්නෙ විසඳන්න තියන හොඳම විදිය නේද?

දැන් මට මහා සැහැල්ලුවක් දැනෙනවා. ගිගුම්ගෙ බෝඩිමෙත් මම වැඩි දවසක් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඇයි මම කාටවත් බරක් වෙන්නෙ ? ගිගුම්ටත් එයාගෙම කියලා ලෝකයක් ඇති. මං එයාට හුඟාක් ආදරෙයි. එයත් මට ආදරෙයි. ඒත් ආදරේ විතරක්ම තිබිලා මදි ජීවත් වෙන්න.

මම ඔයාගෙන් ඉල්ලන ලොකුම උදව්ව දික්කසාදෙ වැඩේ ඉක්මනට කරන්න කියන එක. එහෙනම් මම නවතින්නම්. ඔයාට තෙරුවන් සරණෙන්, දෙවි පිහිටෙන් හොඳ අනාගතයක් ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.

මම ඔයාගෙ විශ්වාසය කැඩු ,

නුවන්

ප. ලි.
දෙමටගොඩ සිරිවර්ධන මහත්තයා දික්කසාද නඩු වලට හොඳයිලු. ගාණත් අඩුයිලු. නඩු කල් දාන්නෙ නැතුව ඉක්මනට ඉවර කරනවලු . පුළුවනි නම් එයාව අල්ල ගන්න බලන්න.