Tuesday, October 13, 2015

හතලිස් වියැති මනාලිය



"මිස්, මිස්ට කැන්ඩියන් වලට වඩා ඉන්ඩියන් යන්නෙ. කැන්ඩියන් ඇන්ඳොත් වයස පෙනෙයි. වයිට් ඕකිඩ් බොකේ එකක් එක්ක ඩල් ගෝල්ඩ් ඉන්ඩියන් සාරි එකක් කරමු. කොණ්ඩෙට ඕකිඩ්ස් බඩ්ස් එක්ක රෝස් බඩ්ස් දාමු" - රූපලාවන්‍ය ශිල්පිනිය.


අනේ....
බැරිද මට
මේ ඉන්න විදියට
කළු සායකට
පොඩි නිල් මල් වැටුනු
සුදු බ්ලවුස් එක අඳින්න?

මල් පොකුරු ඕනෙමද?
බැරිද මට
පුරුදු විදියට
කළු කුඩේ අරන්
කොණ්ඩෙ තනි කරළට ගොතන්
බාටා දාගෙන ඉන්න?

අනේ....
බැරිද මට එදාට
බොරුවට හිනා නොවී ඉන්න


ආදරෙන් හිත පුරෝගෙන
කෝලෙට හිනා වේගෙන
හීන පොකුරක් අතට අරගෙන
පෝරුවට ගොඩවෙන
කෙල්ලෙක් නෙමේ මං

පැරදිලා ආදරෙන්
වගුරලා වගුරලා
වැස්ස වාගේ කඳුළු
ගෙදරට නාකි වුණු
අම්මලට බරක් වුණු
දකින වට පිට ඇස් වල
පැටලුනු රොඩ්ඩ වුණු
තනි හිතට ඉවසගෙන
අන්තිමට මෙහෙම පැරදුනු
ගෑනියෙක්....


දන් දෙන්න යන ගමනක් මේ
දන්නෙ නැති වයසක මිනිහෙක්ට
දිරාගෙන යන මගෙ ඇඟ


හැළි වලං හෝදන්න
තුන් වේල බත් තම්බන්න
ගේ එළි පෙහෙලි කරගෙන
කියන විදියට ඉන්න
හිත හදං යන ගමනක් මේ


හිතේ කහටක් නැතුව
චූටි නංගී බඳී
බර බිමින් තිබ්බැයි
අපේ අම්මට හිතෙයි
මල්ලි අලුතින් ගෙනා
මනමාලි හිනා වෙයි
අඳුරු මූසල පෙනුම
මහ ගෙයින් අයින් වෙයි


ඉන්ඩියන් ඇන්ඳට
හංගන්න පුළුවන් වෙයිද
මට හිතෙන හිතුවිලි?

එය අයට හිනා යයි
දිරපු මේ මගෙ කඳට
මල් ගහලා, සුදු කරලා
බන්දේසියක දාලා
කේක් ගෙඩියක් වගේ
පිටත් කර හරිනකොට

අනේ බැරිද මට
ඉන්න මේ විදියට


එදාට.....?

Saturday, April 18, 2015

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ



පැරැණි පාළු දෙවොළක
වර නැගෙයි ප්‍රේමය

හුරු අත් නුහුරු කර
නුහුරු අත් හුරු කර
දවා හද සඳුන් දර
වඳී ඔබ ඔබෙ පිළිරුව

විටෙක අසෙනිය මලකී
විටෙක ලෝ දිය ගඟකී
පියුමකින්, ගිනි සිළුවකින්
සෙළකින්, නයි කඳුළකින්
මැරි මැරී යළිත් උපදී

කරිකාල් අම්මයිර්
තවමත් මෙතැන රැවු දේ
ඔබේ තාලම් පට හඬ
සළඹ හඬවන කන්නගී
දැවේ තව මදුරා පුර
සෙලුව සඟවන දෞපදී
ඉවර නැත තව දූ කෙළි

මනම්පේරී එයි
ඉසිප්‍රියා හට ඇඬුම් යි
රාවණා රන් දෝලී
මන්දෝදරී නිහඬයි

වග වලස් වෙස් ගෙන වර වර කුවණ්නා
කළු කපුරු දුම් මැද මැවියන් කාලි අම්මා
හද මුහුද කැළැඹී
දළ රළ නගන්නා
රතු වද මල් පැළඳ
කවුදෝ හඬන්නා

Tuesday, April 14, 2015

සුදු මල්

ඉපැරැණි මිතු දම මත
පෙද පාසි සහ වන වැල්
ඉදහිට ඒ මත පිපේ
 පැහැති සුවඳ මල්

මී දුම



මිතුර
මී දුම පැතිර ඇත
අප දෙදෙන අතර
නැවතත් දැකිය හැකි නම්
ඔය මුහුණ 

අත්තම්මා



පැදුරේ ගුලිව
අඳුරේ නැගෙන
හඬවල් අසමි
පහන් එළියක් සේ
නැගේ ඇගෙ පිරිත් හඬ
සිහින් කැස්සක් විත්
ඉඳහිට වද කළත්
අගෙයි ඒ කටහඬ
ලෙලෙන, රැව් දෙන
මදක් තෙත් බර
පිරිතේ නොවැටහෙන වචන
අඳී අඳුරෙහි සිතුවම්
තෙත සෙවල කඳ මත
කිරි පිහිය ඇඳ සීරුවට
කිරි දොවින්නී ඈ
ගසින් ගස මඟ නොහැර
කැටි කර චීත්තය
බැස ලූලා වලට
ඇනෙන කටු මඟහැර
කර උස්සා බලන
ළා කොහිල දළු තෝරා
මිටි කර එක් අතෙක
රිංගා කම්බි වැට
අසල මහ වත්තේ
අහුලා වියලි පොලයක්
වප්පිහි තුඩේ අවුනා
ගෙදර එන්නී ඈ
මද මද හඬ අඩුව
නිවුනු පසුවය ඇගෙ පිරිත
ඇසෙන්නේ අපමණ හඬ
රබර් හේඩාවේ
තනි පැහැති රෑහි හඬ
ඇතුල් හද හූරන
ලූලා වලට ඔබ්බෙන්
නරි හූවකිය රැව් දෙන
බොරළු පාරෙන් ඉඳහිට
නැගෙයි උඩු බිරුමක්
නිදිමත දුර යවන

Sunday, March 29, 2015

ඉක්බිති


ගෙඩි පොඩියි, කහටයි
රහ නැහැ, හරිම ඇඹුලයි
කියා අප කැපූ පසු
කාමරංගා පඳුර

නො එයි ඒ කුරුල්ලා

හැර සියළු කවුළු පත්
අසමි ඒ දැයි දුරින්වත්
හද දොරෙහි යතුර වූ
මියුරු ඒ කුරුළු හඬ