Tuesday, September 2, 2014

පොත් පිටු අතර කැඩපත්


උන් වහන්සේ ත් ‘බුදුහු මා හා කථා නො කරණ සේකැ’යි තුන් මසක් මුළුල්ලෙහි බුදුන්ට කයින් ලං ව ගත නො හී ‘බුදුන් දැක්ක නො හෙන මාගේ ජීවත් වීමෙන් ප්‍රයෝජන කිම් ද, පර්වතයට නැඟී ලා වැටී ගොසින් මියෙමි’ යි ගිජු කුළු පවුවට නැඟි සේක. - වක්කලී තෙරුන්වහන්සේගේ වස්තුව - සද්ධර්ම රත්නාවලිය තිගැස්සෙමි, පොත් පිටු අතර කැඩපත් මා මෙන් ම පතා එක් තනි බැල්මක් ගඟ ළඟම හිඳ තිබහින් දැවෙන්නට ඇති ඔබ නිහඬව තනිව රුක් මුල ලිහන්නට ඇති දෙසු දම් දකින්නට යම් තෙතක් සිසිලක් වට අවට මහ සෙනඟ මැඳ එකලාව කතරක සොයන්නට ඇති ඔබ කුඩා ඊ තණ පඳුරක් පිටුවහල් කල පසු නඟින්නට ඇති ගිජු කුළ උතුරන විට දෙනෙත තෙමෙන්නට ඇති ගල් පඩි මට මෙන් නොව ඔබට ගිඟුම් දීගෙන සිහිලට වහින්නට ඇති එවිට


Sunday, August 17, 2014




පිච්ච




මංජරී,
අපට නොගිහින් ඉන්නයි තිබුණෙ
ගියදා ඉඳන් ඒකට
පිච්ච මල් ගඳයි මට
ඉස්සර වගෙ නෙමේ
වහනවා මං ජනෙල් දොරවල් තදට
පිච්ච මල් සුවඳට

කපන්න හයියක් නෑ
පිච්ච පඳුර මට
පිච්ච මල් අහුරක්
අම්මා තාමත්, පූජා කරනවා හවසට
ඒ අපි දහම් පාසැල් යන කාලෙ හිටපු
බුදු හාමුදුරුවන්ට

ඔයා ජැස්මින් ටී බොනවා
මහත් වෙනවට
ජෙගන්ගෙ අක්කා
කොණ්ඩෙ ගහනවා පිච්ච වැල්
කෝවිලට යනකොට

පොඩි පන් වට්ටියකට
පිච්ච මල් කඩන්
ඔයාගෙ තනි කොණ්ඩ කරලට
තව මලක් පැන්සල් පෙට්ටියෙ තියන්
දහම් පාසැල් ආ හැටි මං
මතකද ඔයාට?

නොගිහින් ඉන්නයි තිබුණෙ අපට
පිච්ච මල් පූජාවට
මතක් වෙනකොට ඒ මූණු
තාම බය හිතෙනව මට

හිර වෙවී, පොර කකා
කෑ ගගහා, අඬ අඬා
දුකවල් කිය කියා
විසි කළා ඒ අය
පිච්ච මල් අහුරු
බුදු පිළිමෙ මූණට

හෙලිකොප්ටර් ඇවිත්
අහු කළා අපිව
පිච්ච මල් වැස්සකට
පර වුනු, පර නූනු
පිචච මල් පෑගුනා
මග දිගටම අපිට

ඔක්කාරෙ ආව මට
සැර පිච්ච මල් සුවඳට

මංජරී,
ගිලෙනවා අපි
පිච්ච මල් වට්ටියක පතුලට
බලු දත් වගේ පෙති තියන
සුවඳට හුස්ම හිරවෙන
පිච්ච මල් වට්ටියක පතුලට

මංජරී,
කවියක් නෙමේ මේ
පිච්ච මල් ගඳයි මට
බයයි මං
ඔයා ආසයි කීවම
පිච්ච මල් පූජාවට


Monday, July 14, 2014

නාහිමි ගිලානව


පිළිම ගෙයි ලිය වැල් ද පසුකොට
තව්තිසා දෙව් ලොව දිහාවට
වේ දල්ලකි ය ලියලන
සිදුහත් සිරිත කැත කර

කිරි වවුලන්ට ඉඩදී
සිව් වරම් දෙවිවරුන් දැහැනක
සිරස් පත අහිමිව
ලැකර් පොතු ගැලවෙන
පිළිම හිමියන් නිහඬව

කොහු මෙට්ටයට යටවී
බර පිත්තල යතුරු
ඉඳහිට යමක් මුමුණයි
අතුරුදන් පොත් ගුල යතුර ගැන

රජ මහ වෙහෙර තුඹසෙහි
නාහිමි ගිලානව

ගොදුරු ගම මැද නැගි
අළුත් සුපසන් වෙහෙරකි
එහි සෑ රඳුන් වැඳුමට
දේවතා එළි පොරකති

රජ මහ වෙහෙර මෙන් නොව
මෙවෙහෙර සැමට විවරව

රුසිරු හිමිවරු එහි
කවියෙන් බණ දෙසති
අමා සුව දෙන නිවන
මේ අත ළඟය පවසති

දැය සමය රැකුමට
නොබියව පෙළ ගැසෙති
ගිනි රුහිරු පැහැයෙන්
අරහත් ධජ දරති

පෙරහර පවත්වති
පිච්ච මල් වැසි වස්සති
තෙවලා දහම අළුතින්
විසිතුරු කොට ලියති

ඉඳහිට රුපුන් දැමුමට
යමක පෙලහර දක්වති
ගගනත වළා මත හිඳ
සිහ නද පවත්වති

මහ පිළිම තනවති
වැව් දිය පිරිත් කරවති
මුළු සක්වලම එක් වර`
සාදුකාරෙන් ගිගුම් ගන්වති

රජ මහ වෙහෙර තුඹසෙහි
නාහිමි ගිලානව
මිමිණෙයි මතක් බණවර

Sunday, May 11, 2014

සිළකි අඳුරින් නැගි



"අනේ මම HIV පොසිටිව්ලු" -මිතුරියක්
 
සිළකි අඳුරින් නැගි
සියොලඟ දවාගෙන
මඳක් ලොව එළි කර
නිවී යාමට නියමිත


උණුසුම් සිනිඳු බඳවට
කලු සර්පයෙකි සුස්මන
ඊවා, ක්ලියෝපැට්රා
මෙනි ඔබ අඬන හිනැහෙන


මියුලැස තවත් පොබ කර
තවරන්න කළු අඳුරු නෙතඳුන
සිරකර නොගෙන පපුවට
මුමුණන්න ඔබෙ හංස ගීතය


දන්නවා මං
පෙර මෙන්ම පුළුවනි ඔබට
ඉවසා මඟ බලන්නට
බොඳ කර නොගෙන නෙතඳුන්
රහසින් හඬන්නට
විහිදා මුහුල හුළඟට
අහසට හිනා වෙන්නට