Wednesday, March 5, 2014
Tuesday, December 31, 2013
අප දෙදෙන මැද මහ මුහුද
මම
ගල් මල් අතර
නිල් රතු මාළු පීනන
පොඩි මුහුදකින් වටවුණ
පොල් ගස් කොදෙව්වේ
සුදුවට හිනා වෙන
ඔබේ කළු කොල්ලා මං
තෙත කළු මිදි දෑස්
ගත පුරා කළු මවිල් ගස්
නටන නලියන කළු මස්
මිස මගේ ඩා බිඳක ගඳක් සුවඳක්
නොපෙන්වයි ඔබට මා
පෙන්වන තිරය හතරැස්
තද රතු වද මලක්
රන්වන් මුහුදු වෙරළක්
බිළිඳු තේ දළුවක්
කළුම කළු තුණු සිරුරක්
ඔබට මා අන් කවරක්?
ඔබ
සිඟරට් දුම් වලා මැද
සුවඳින් ම තේරූ
ඉපැරණි වයින් විත
සිසිරයෙ දිග රැයක
අතරමං මේපල් පත
මා නිවන දල්වන ලා නිල් ඇස්
අතගා බලනු බැරි රන්වන් කෙස්
වැඩිපුර නොතේරෙන අමුතු බස්
ඔබය නිදි නැති මහ අහස හිස්
සුදු පටු කුඩා කුටියක
දුඹුරු බලු පැටියෙකු සමඟ
කුඩා කවුළුවකින් එබෙන
ඔබය අත දිග මදි වුණ
ඇත්තටම මම
අලුතින් නගී සුදු කෙස්
එක දෙක හිස මතට
වෙහෙසයි හිඳ ගනිමි
හිස මදක් පහත් කොට
ඇත්තටම ඔබ
????
අප දෙදෙන මැද මහ මුහුද
Friday, November 22, 2013
නිදිකුම්බා
ලැජ්ජයි තමයි නිදිකුම්බා දළු
ආයෙමත් ඇහැරිලා හිනාවෙයි
කිව්වට එවුං
අත තිබ්බෙ නෑ මං, එතකම්ම
ඒ කාලෙ මං බයයි
කවි ලිව්වා විතරමයි
වැහි රෑක හීතලේ වෙව්ලද්දි
මං එක්ක නිදි මරපු රැහැයියන්
එක දිගට කිව්වේම උඹ ගැනයි
මං ලිව්වෙ උන් කිව්ව කවි තමයි
ලා ලපටි රෝස පැහැ ලා දල්ල
ඇල්ලුවේ ඉවසලා ඉවසලා
බැරිම වුනු තැන තමයි
පෙති දෙපෙති එකතුවී
ගුලි වෙවී ඇකිලෙද්දි
උඹ නෙමේ හුඟක් ඇඬුවේ මමයි
කන් පෙතිත් රතු වුනා නම් තමයි
බය ඇරී උඹ ආයෙ ඇහැරුනත්
බර කකුල් මහ හුඟක් පාගද්දි
ආයෙමත් ආයෙමත් හිනාවී ඇහැරුනත්
ඒ එදා නිදාගත් මගෙ හිතට
ඇහැරෙන්න බැරි මොකෝ
පහුකරන් හුඟක් දේ
මේ තරං මහ දුරක් ආවමත් ?
Sunday, October 27, 2013
වන වාසය
ලිය වැල්ය
වෙලෙන, පැටලෙන
මහ වැසි වැටෙද්දී
තෙමෙමි තනියම
හැම ගල් ගුහාවෙම
නිදි කුමරියන්
මදක් තොල් උල් කර
හොරට බුදියන
වෙලෙන, පැටලෙන
මහ වැසි වැටෙද්දී
තෙමෙමි තනියම
හැම ගල් ගුහාවෙම
නිදි කුමරියන්
මදක් තොල් උල් කර
හොරට බුදියන
Thursday, October 24, 2013
අතුරුදන් කළ මිනිසෙක්
සියවසෙන් සියවස
මල් ලියකමින් බර කළ
වදන් කැටයම් තුළ
නිදන් කළ, වදන් නැති කවියකි
බර පොත් පිටු අතර
කුස තණ අට මිටක් මත
හිඳ එකලාව අරණක
මදහස නැගූ මිනිසෙකි
පියුම්, විදුරසුන් මත හිඳුවා
බඹයෙන් බඹය උස් කර
ලැකර් ගා නෙත් අඳ කළ
සොඳ සුවඳ මල් වැසි මැද
ගිඟුම් දෙන වන්දනා නද තුළ
දැවෙද්දිත් අපමණ පහන් තිර
නොපෙනී අතුරුදන් කළ
මිනිසෙකි සරල, සුන්දර
Monday, September 23, 2013
මල් දම
තව ද: නො එක් ජාතියෙහි යක්ෂ රාක්ෂාදීන් වෙස් වළා අවුත් මා ම දන් ඉල්ලූ කල ඔවුන්ට මා දන් දුන් කල, ඔවුන් මා සල්ව සල්වා කෑ කල එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්, නො එක් සතුන්ට ගොදුරු නියා මා ම දුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද සසර නුඹ වහන්සේ මා හැර ගොස් පරස්ත්‍රීන් කෙරෙහි හසුව ……….
- පූජාවලිය - යශෝධරා අපදානය
සිඳිමි මල් දම
ඉපැරණි
සෙනේ ගැට දා හිර කල
පර මල් ය මේ
සුවඳ නැති
එහෙත්
මායා මතක සුවඳකි
සපු ය, සෙව්වන්දි ය,
පරසතු ය, සුසුවඳ කොඳ ය
කිනම් මල් දැයි
කියනු නොහැකිය
ගිලිහෙන්න නියමිත පෙති ය
සියුම් ගැට දා තද කල
හුයකි බිඳි
නොබිඳෙතැයි අප පැතු
ඇනි ඇනී අපමණ කටු
නෙළු මල් ය කඳුළින් දෙවු
කිසි දා ක පරවෙතැයි
නොම සිතු
පණ ය තවමත් මේ
ඉතිරි අන්තිම මල
එහෙත් අමුණනු නොහැකිය
කෝ කොහිද ඒ හුය ?
Subscribe to:
Posts (Atom)





