Tuesday, March 6, 2012

උදේ

පොඩි හේරත් වෙත,


............. ආයෙම අපිව බලන්ඩ එනවා, ලියුං ලියනවා කියලා අඬා දොඩා, මාරුවක් අරං ගියා ගියාමයි කෝල් එකක්වත් නෑ. නොම්බර වැඩත් නෑ. මගෙ මඟුළට ඔච්චර කියලත් නෑවිදින් සල්ලි එවාපු එක වැරදියි. අපේ හිත් බිඳුනා......

කහටගස්දිගිලියේ පොඩි හේරත් එවූ ලිපියක කොටසක්.



මගෙන් උත්තර නැතත්
ලියනවා උඹ තාමත්
බලන්නෙම නෑ කියා හිතුවත්
බැලෙනවා උඹෙ ලියුං හේරත්

තිබහකට වෙහෙසකට ගන්නට
ඉතුරු කරගත් මතක තෙත ටික
පපුව මැද දුක සේ රකිනකොට
එපා අත දා බොර කරන්නට

කෙළ ගසා කට ඇඹුල් කොට
එකම වීදුරුවෙන් මාරුවට
තෙමා පපු, ගැයු ගීත අඳුරට
ගැයෙනවා තාම මගෙ හිත යට


ජෝතිගේ සිංදු යනකොට
වහනවා මං රේඩියෝ එක
ඇහෙනවා ඒ සිංදු දිගටම
වහන්නට බෑ මගේ හිත මට

පෙති මහත රතුම රතු
රෝස මල් හත අටක් පහුකලා
ඇනුනු ඒ බොකුටු කටු
ලේසියට පහසුවට ගැලවුනා
කහටගස්දිගිලියෙදි ඇනුනු
පොඩි පතොක් කටු සිහිවුනා
නොපෙනුනත් තාම ඒ හීන් කටු
රිදි රිදී මගෙ හිතේ කෙවෙනවා

අද හෙට නෙමෙයි හිත හයි වෙච්චි දවසක
මේ ලියුම තැපෑලට දාන්නං
පොළොං පැටියෙක් වගේ විස ගෝර
මගේ හිත මං තලා මරණ්නං
උඹ එවපු ඔක්කෝම ලියුං ටික
කුණු ගොඩේ දවන්නං
ආයෙමත් ලියන්නට එපා මට
මං උඹට වඳින්නං


ඉසුරු චාමර සෝමවීර

මාළු

පිනි