Friday, November 22, 2013

නිදිකුම්බා



ලැජ්ජයි තමයි නිදිකුම්බා දළු
ආයෙමත් ඇහැරිලා හිනාවෙයි
කිව්වට එවුං

අත තිබ්බෙ නෑ මං, එතකම්ම
ඒ කාලෙ මං බයයි
කවි ලිව්වා විතරමයි

වැහි රෑක හීතලේ වෙව්ලද්දි
මං එක්ක නිදි මරපු රැහැයියන්
එක දිගට කිව්වේම උඹ ගැනයි
මං ලිව්වෙ උන් කිව්ව කවි තමයි

ලා ලපටි රෝස පැහැ ලා දල්ල
ඇල්ලුවේ ඉවසලා ඉවසලා
බැරිම වුනු තැන තමයි
පෙති දෙපෙති එකතුවී
ගුලි වෙවී ඇකිලෙද්දි
උඹ නෙමේ හුඟක් ඇඬුවේ මමයි
කන් පෙතිත් රතු වුනා නම් තමයි


බය ඇරී උඹ ආයෙ ඇහැරුනත්
බර කකුල් මහ හුඟක් පාගද්දි
ආයෙමත් ආයෙමත් හිනාවී ඇහැරුනත්
ඒ එදා නිදාගත් මගෙ හිතට
ඇහැරෙන්න බැරි මොකෝ
පහුකරන් හුඟක් දේ
මේ තරං මහ දුරක් ආවමත් ?