Monday, September 23, 2013

මල් දම

තව : නො එක් ජාතියෙහි යක්ෂ රාක්ෂාදීන් වෙස් වළා අවුත් මා දන් ඉල්ලූ කල ඔවුන්ට මා දන් දුන් කල, ඔවුන් මා සල්ව සල්වා කෑ කල එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්,  නො එක් සතුන්ට  ගොදුරු නියා මා දුන් කල් අසංඛ් ගණන් ජාති දකිමි. තව සසර නුඹ වහන්සේ මා හැර ගොස් පරස්ත්රීන් කෙරෙහි හසුව ……….
- පූජාවලිය - යශෝධරා අපදානය


සිඳිමි මල් දම
ඉපැරණි
සෙනේ ගැට දා හිර කල


පර මල් මේ
සුවඳ නැති
එහෙත්
මායා මතක සුවඳකි 


සපු , සෙව්වන්දි ,
පරසතු , සුසුවඳ කොඳ
කිනම් මල් දැයි
කියනු නොහැකිය
ගිලිහෙන්න නියමිත පෙති


සියුම් ගැට දා තද කල
හුයකි බිඳි
නොබිඳෙතැයි අප පැතු


ඇනි ඇනී අපමණ කටු
නෙළු මල් ය කඳුළින් දෙවු
කිසි දා පරවෙතැයි
නොම සිතු


පණ ය තවමත් මේ
ඉතිරි අන්තිම මල
එහෙත් අමුණනු නොහැකිය
කෝ කොහිද ඒ හුය ?