Monday, December 31, 2012

මැදියමක අවදිව



සිසිර නින්දක නිදන තුරුළුව
කෙසඟ අපමණ කුහුඹුවන් මැද
මැදියමක නිදි නැති කුහුඹුවෙකි
මියෙන පළගැටියෙකුගෙ ගීයක්
සිරිය කොට හිත මැදට ඇනගත්

අණ ලෙසට, තනි පෙළට, පිලිවෙලට
වසත් මල් මගහැර දුරක යන විට
කොහෙන්දෝ නැගි ඔබේ ගී තාලයට
තටු ලබා පියැඹුවා හිත එදා අහසට

බිම වැටුණු පුංචි සමනළයා
වට වෙලා අප එකතුවී මැරුවා
අපට නැති උගේ තටු ඉරුවා
දුරක සිට ඔබ සෝ තනුව වැයුවා

එක දිගට, එකම විදියට
මුවට මුව තබා කී පිළුණු සුබ පැතුමට
ගොළුව, බිහිරිව, අඳව
හිතේ ඇති කුණුහරුප සේරම
නිහඬවම ගැයුවා මා
ඔබ නොදැන ඔබේ තනුවට


අපමණ නෑ සියන් මැද තනියි, සීතයි මට
එකට, එක හීනයක් මිස තනි හීන අකැපයි අපට
දිගයි මේ රැය අවදිව සිටින ඔබට මට
ගයන්නට එපා තව ඉඩ දෙන්න සිසිරයට