Monday, July 14, 2014

නාහිමි ගිලානව


පිළිම ගෙයි ලිය වැල් ද පසුකොට
තව්තිසා දෙව් ලොව දිහාවට
වේ දල්ලකි ය ලියලන
සිදුහත් සිරිත කැත කර

කිරි වවුලන්ට ඉඩදී
සිව් වරම් දෙවිවරුන් දැහැනක
සිරස් පත අහිමිව
ලැකර් පොතු ගැලවෙන
පිළිම හිමියන් නිහඬව

කොහු මෙට්ටයට යටවී
බර පිත්තල යතුරු
ඉඳහිට යමක් මුමුණයි
අතුරුදන් පොත් ගුල යතුර ගැන

රජ මහ වෙහෙර තුඹසෙහි
නාහිමි ගිලානව

ගොදුරු ගම මැද නැගි
අළුත් සුපසන් වෙහෙරකි
එහි සෑ රඳුන් වැඳුමට
දේවතා එළි පොරකති

රජ මහ වෙහෙර මෙන් නොව
මෙවෙහෙර සැමට විවරව

රුසිරු හිමිවරු එහි
කවියෙන් බණ දෙසති
අමා සුව දෙන නිවන
මේ අත ළඟය පවසති

දැය සමය රැකුමට
නොබියව පෙළ ගැසෙති
ගිනි රුහිරු පැහැයෙන්
අරහත් ධජ දරති

පෙරහර පවත්වති
පිච්ච මල් වැසි වස්සති
තෙවලා දහම අළුතින්
විසිතුරු කොට ලියති

ඉඳහිට රුපුන් දැමුමට
යමක පෙලහර දක්වති
ගගනත වළා මත හිඳ
සිහ නද පවත්වති

මහ පිළිම තනවති
වැව් දිය පිරිත් කරවති
මුළු සක්වලම එක් වර`
සාදුකාරෙන් ගිගුම් ගන්වති

රජ මහ වෙහෙර තුඹසෙහි
නාහිමි ගිලානව
මිමිණෙයි මතක් බණවර