Sunday, August 17, 2014




පිච්ච




මංජරී,
අපට නොගිහින් ඉන්නයි තිබුණෙ
ගියදා ඉඳන් ඒකට
පිච්ච මල් ගඳයි මට
ඉස්සර වගෙ නෙමේ
වහනවා මං ජනෙල් දොරවල් තදට
පිච්ච මල් සුවඳට

කපන්න හයියක් නෑ
පිච්ච පඳුර මට
පිච්ච මල් අහුරක්
අම්මා තාමත්, පූජා කරනවා හවසට
ඒ අපි දහම් පාසැල් යන කාලෙ හිටපු
බුදු හාමුදුරුවන්ට

ඔයා ජැස්මින් ටී බොනවා
මහත් වෙනවට
ජෙගන්ගෙ අක්කා
කොණ්ඩෙ ගහනවා පිච්ච වැල්
කෝවිලට යනකොට

පොඩි පන් වට්ටියකට
පිච්ච මල් කඩන්
ඔයාගෙ තනි කොණ්ඩ කරලට
තව මලක් පැන්සල් පෙට්ටියෙ තියන්
දහම් පාසැල් ආ හැටි මං
මතකද ඔයාට?

නොගිහින් ඉන්නයි තිබුණෙ අපට
පිච්ච මල් පූජාවට
මතක් වෙනකොට ඒ මූණු
තාම බය හිතෙනව මට

හිර වෙවී, පොර කකා
කෑ ගගහා, අඬ අඬා
දුකවල් කිය කියා
විසි කළා ඒ අය
පිච්ච මල් අහුරු
බුදු පිළිමෙ මූණට

හෙලිකොප්ටර් ඇවිත්
අහු කළා අපිව
පිච්ච මල් වැස්සකට
පර වුනු, පර නූනු
පිචච මල් පෑගුනා
මග දිගටම අපිට

ඔක්කාරෙ ආව මට
සැර පිච්ච මල් සුවඳට

මංජරී,
ගිලෙනවා අපි
පිච්ච මල් වට්ටියක පතුලට
බලු දත් වගේ පෙති තියන
සුවඳට හුස්ම හිරවෙන
පිච්ච මල් වට්ටියක පතුලට

මංජරී,
කවියක් නෙමේ මේ
පිච්ච මල් ගඳයි මට
බයයි මං
ඔයා ආසයි කීවම
පිච්ච මල් පූජාවට