Thursday, September 27, 2012

මගේ අම්මා


ඉඳිකඩ ළඟ ඉඳන්
මග බලන
පැලක් නැති හේනක
අකල් වැසි වැටෙද්දී
තුරුළු කර පුතු රකින
තම්බා බතල දළු
ලුණු දියර ඉස කවන
දුම්මල ගලට යන
වඳුරඹින් කොපි පොත් ගේන
ඒ මගේ අම්මා නොවේ

මතකයි,
කුඩා මා අතින් ගෙන
ඇවිද ගිය හැටි ඔබ
තොටළඟ වීදි වල
මඩ කඩිති තුළ ඇඳි
දේදුණු පෙන්වමින්
සිරි සිරි පොදේ තෙමෙමින්

තාත්තා හොයන්නට
බූස්සට ගිය දවස් වල
බස් එකේ මඟ දිගට
කියා දුන්නා ඔබ
වෘකයා පැරද වූ
රතු හැට්ට කාරිය ගැන 

වීසි කර කුඩා මා ගඟ දියට
"ඉතිං පීනා වර ", කියා
ගිලෙද්දී අතින් ඇද
මහ හඬින් හිනැහිලා
පහුවදා ආයෙමත් ඔබ
ගඟ දියට මා විසි කලා

ගුටි කා, තොල පැලී, ඉදිමී
මා ගෙදර ආ පෙර දිනෙක
නොගෙන ඔබෙ ඔය තුරුළට
තනියෙන්ම අඬන්නට ඉඩ හැර
ජෝතිගේ සිංදු ඇහුවා ඔබ පාඩුවේ
කිසිවක් නුදුටු විලසට

සායට රිබන් අල්ලන
"තරුණි" පත්තර බලා
මල් මෝස්තර හොයන
සුදු කෙස් කළු කරන
අම්මා ඔබයි මගෙ
කිසිදාක සාරි නොඅඳින 

අමතකව ගිය ඇන්ජිගේ ගීයක
තනුව තාමත් මුමුණන
උපැසින් බලා හෙමිහිට
රිබන් එම්බ්‍රොයිඩරි කරන
පොළට ගොස් කේවල් කරන
හවස තේකට පැටිස් සාදන
මල් වවන, ඉරිදා පත්තර බලන
මගේ අම්මා ඔබයි
මා ලියන කවි නොකියවන
දුරින් හිඳ මදහස නගන


ඉසුරු චාමර සෝමවීර

9 comments:

  1. ammala ehemaya ... eka eka ammala ehemaya ... eth e ape ammalaaya... :)

    ReplyDelete
  2. සවිමත්ව නිවහල්ව නැගී සිටින්නට පුතුට ඉඩ හළ අම්මා කෙනෙක්.

    ReplyDelete
  3. අද මෙන් කඩපිල් බහුල නොවූ බාල කල අම්මා සමග කඩුවෙල පොලේ , කිරිබත්ගොඩ , තොටළඟ මාකට් එකේ හෝ පිටකොටුව මැනිං මාකට් එකේ ඇවිදපු හැටි පෙනී නොපෙනී ගොහින් නෙත් තෙමෙයි . මගතොට දකින නෙක හැඩති ගැහැණුන් කාගේ හෝ අම්මෙක්. අනගි කවි පෙළක්.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ලස්සන කවියක්, ශක්තිමත් ආත්මයක් තියෙන අම්මා කෙනෙක් ඒ ශක්තිය තම පුතුට දුන් හැටි කියවෙන.

    ReplyDelete
  6. මං ගොඩක් වෙලා බලන් හිටියා මේ කවිය දිහා....
    මුල ඉඳන් අගටත් කියෙව්වා, අග ඉඳන් මුලටත් කියෙව්වා...

    ReplyDelete
  7. ලස්සන පද පෙලක්... අම්මා දෙස මසැසින් විමසා තැබූ සටහනක්.

    ReplyDelete
  8. මා වටා උන්
    හිතමිතුරුවන්
    කියවා මා කවි
    කියත් දී ගුණ දොස්
    නොදැනෙන තුටක්
    දැනේ මට
    කන්ණාඩි කුට්ටම
    සොයා වරුවක්
    ලද මද ඇසිල්ලක
    මා ලඟට විත්
    මා ලියූ කවක් දැක
    කඳුලක් නඟා මුත්
    හිනැහෙන අම්මා අබියස...

    මවිත වෙමි විටෙක
    ඒ මන්ද....
    මගේ හොඳම කවිය
    අම්මේ ඔබ නිසාවම
    නොවෙද?

    ReplyDelete