Tuesday, December 31, 2013

අප දෙදෙන මැද මහ මුහුද



මම

ගල් මල් අතර
නිල් රතු මාළු පීනන
පොඩි මුහුදකින් වටවුණ
පොල් ගස් කොදෙව්වේ



සුදුවට හිනා වෙන
ඔබේ කළු කොල්ලා මං

තෙත කළු මිදි දෑස්
ගත පුරා කළු මවිල් ගස්
නටන නලියන කළු මස්
මිස මගේ ඩා බිඳක ගඳක් සුවඳක්
නොපෙන්වයි ඔබට මා
පෙන්වන තිරය හතරැස්

තද රතු වද මලක්
රන්වන් මුහුදු වෙරළක්
බිළිඳු තේ දළුවක්
කළුම කළු තුණු සිරුරක්
ඔබට මා අන් කවරක්?

ඔබ

සිඟරට් දුම් වලා මැද
සුවඳින් ම තේරූ
ඉපැරණි වයින් විත
සිසිරයෙ දිග රැයක
අතරමං මේපල් පත

මා නිවන දල්වන ලා නිල් ඇස්
අතගා බලනු බැරි රන්වන් කෙස්
වැඩිපුර නොතේරෙන අමුතු බස්
ඔබය නිදි නැති මහ අහස හිස්

සුදු පටු කුඩා කුටියක
දුඹුරු බලු පැටියෙකු සමඟ
කුඩා කවුළුවකින් එබෙන
ඔබය අත දිග මදි වුණ

ඇත්තටම මම

අලුතින් නගී සුදු කෙස්
එක දෙක හිස මතට
වෙහෙසයි හිඳ ගනිමි
හිස මදක් පහත් කොට

ඇත්තටම ඔබ

????

අප දෙදෙන මැද මහ මුහුද


7 comments:

  1. අඩු තරමේ දෙන්නාට දෙන්නා බලාපොරොත්තු අතඅරගෙන නැනේ. ඒක ලොකු දෙයක්නේ
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  2. ''ඇත්තටම මම

    අලුතින් නගී සුදු කෙස්
    එක දෙක හිස මතට
    වෙහෙසයි හිඳ ගනිමි
    හිස මදක් පහත් කොට

    ඇත්තටම ඔබ

    ????

    අප දෙදෙන මැද මහ මුහුද''

    ඇත්තටම මේ මම..... හිතට දැණුනා සුන්දර දුක්බර කවියක්..

    ReplyDelete
  3. මහ පුදුම කවියක්නේ

    ReplyDelete
  4. මං මේ කවිය කියවලා තාම ඒ ගැන හිතනවා. සුදු ප‍ටු කුටියක,කුඩා කවුළුවකින් දුඹුරු පලු පැටියෙක් එක්ක එබෙන කෙනෙක් ගැන පුංචි හීනයක් පේනවා. මේක හරිම රිදවුම්කාරීයි. ඒකමයි මං මේ කවියට කැමති. ඉසුරු ඔයා පුංචි ඇල්පෙනෙති,ඉඳික‍ටුවලින් හදවතේ හොඳටම රිදිච්ච තැන්වලට අනිනවා. වෙලාවකට ඒ රිදුම හරිම ප්‍රමෝදජනකයි. තවත් වෙලාවකට ලේ ගලන සුළුයි.
    ස්තූතියි රසවත්-කම්පනීය කවි ලියනවට.

    ReplyDelete