Monday, July 14, 2014

නාහිමි ගිලානව


පිළිම ගෙයි ලිය වැල් ද පසුකොට
තව්තිසා දෙව් ලොව දිහාවට
වේ දල්ලකි ය ලියලන
සිදුහත් සිරිත කැත කර

කිරි වවුලන්ට ඉඩදී
සිව් වරම් දෙවිවරුන් දැහැනක
සිරස් පත අහිමිව
ලැකර් පොතු ගැලවෙන
පිළිම හිමියන් නිහඬව

කොහු මෙට්ටයට යටවී
බර පිත්තල යතුරු
ඉඳහිට යමක් මුමුණයි
අතුරුදන් පොත් ගුල යතුර ගැන

රජ මහ වෙහෙර තුඹසෙහි
නාහිමි ගිලානව

ගොදුරු ගම මැද නැගි
අළුත් සුපසන් වෙහෙරකි
එහි සෑ රඳුන් වැඳුමට
දේවතා එළි පොරකති

රජ මහ වෙහෙර මෙන් නොව
මෙවෙහෙර සැමට විවරව

රුසිරු හිමිවරු එහි
කවියෙන් බණ දෙසති
අමා සුව දෙන නිවන
මේ අත ළඟය පවසති

දැය සමය රැකුමට
නොබියව පෙළ ගැසෙති
ගිනි රුහිරු පැහැයෙන්
අරහත් ධජ දරති

පෙරහර පවත්වති
පිච්ච මල් වැසි වස්සති
තෙවලා දහම අළුතින්
විසිතුරු කොට ලියති

ඉඳහිට රුපුන් දැමුමට
යමක පෙලහර දක්වති
ගගනත වළා මත හිඳ
සිහ නද පවත්වති

මහ පිළිම තනවති
වැව් දිය පිරිත් කරවති
මුළු සක්වලම එක් වර`
සාදුකාරෙන් ගිගුම් ගන්වති

රජ මහ වෙහෙර තුඹසෙහි
නාහිමි ගිලානව
මිමිණෙයි මතක් බණවර

Sunday, May 11, 2014

සිළකි අඳුරින් නැගි



"අනේ මම HIV පොසිටිව්ලු" -මිතුරියක්
 
සිළකි අඳුරින් නැගි
සියොලඟ දවාගෙන
මඳක් ලොව එළි කර
නිවී යාමට නියමිත


උණුසුම් සිනිඳු බඳවට
කලු සර්පයෙකි සුස්මන
ඊවා, ක්ලියෝපැට්රා
මෙනි ඔබ අඬන හිනැහෙන


මියුලැස තවත් පොබ කර
තවරන්න කළු අඳුරු නෙතඳුන
සිරකර නොගෙන පපුවට
මුමුණන්න ඔබෙ හංස ගීතය


දන්නවා මං
පෙර මෙන්ම පුළුවනි ඔබට
ඉවසා මඟ බලන්නට
බොඳ කර නොගෙන නෙතඳුන්
රහසින් හඬන්නට
විහිදා මුහුල හුළඟට
අහසට හිනා වෙන්නට


Wednesday, March 5, 2014

හිතක්, සිරුරක්, රහසක්


සෝදන්න පුළුවනි පසුවට

කළු කළු රතු ලේ

පිහදැම්මම සීරුවට

තියේවි සුදට, දිස්නෙට

පෙර තිබු විදියටම

හතරැස් ටයිල් මේසය

 

ටිකක් අත වෙව්ලනකොට

තද කර දෙතොල් හා ඇස්

මතක් කර ගත්තම හරි

ගෙවුනු පහුගිය දවස්

 

සැතක්, දෑතක්, දෑසක්

හිතක්,සිරුරක් , රහසක්

 

පණ නුසුන් මා සිරුර

වැතිර මා ඉදිරිපිට

මදක් දිලිසෙන මගෙ ඇස්

බලයි මා දෙස හෙමිහිට

ලා රතකි, මද තෙතකි ඇස් මත 

 

අවුල් කළු කෙස තුළ

පහ, හයකි සුදු කෙස්

ඇස් යට සිහින් අඳුරකි

වියලි දෙතොලේ

අමුතු හැඟුමකි

 

මුහුණ වෙස් මුහුණකි

පහසුවෙන් ගැලවෙයි

 

නෙත් සිදුරෙන් එබෙයි

කෙසඟ කළු කොළුවෙක්

ඉකිය හිර කරගත්...

දෑස් දිලිසෙන යොවුනෙක්

අහස දෙස බලාගත්...

සින්ඩරෙල්ලාවක්

සියතින් දෙපා සිඳගත්...

නන්නාඳුනන මගියෙක්

වෙහෙසින් මදක් හිඳගත්

තව බොහෝ අය වෙත්

වෙස් මුහුණ යට සැඟවගත්...

 

රහසකි ගලන කළු ලෙය

හෙමිහිට දිය වැගිරෙන

සුදු, පිරිසිඳු පුළුන්

රතු, තෙත බරිත කරවන

 

එකිනෙක වෙලාගත්

මතක  ගුලියකි මොළය

මතක, අමතක මතක

පැටලී ගැට ගැහෙන

ගොණු වී එකට නලියන

 

අත ගා හැඳු ගහක

පිපුණු පොඩි සුදු මලකි

දැක පිබිදුනු මදහස

පර  නොවු සුවඳ මතකෙකි

 

සෙවණැලි සසල පටු මග

කර වටා අත දැමූ මිතුරෙකි

තවමත් රහ දැනෙනෙ

මාරුවට කෑ දිවුල් ගැටයකි

 

රබර් හේඩාවක

අඳුරේ තනිව යොවුනෙකි

නොගයා ගයන ගීයට

රෑහි වැළපුම තනුවකි

 

මරණීය රමණයකට පසු

බොඳ සොමි සඳකි පිනි බර

ඔබ හා එක්ව නරඹන

මතක අහසක සදා පායන

 

වකුටු ගල් ගිය

පොසිල වු දලඹුවෙකි

තුල සැඟව මිය ගිය

සමනළ සිහින දහසකි

 

තැන තැන ගල්ව ගොස් ඇත

පොසිල ආදර මතක

විනිවිද යනු නොහැක

සැතේ මුවහත මද

 

කැපුම් පහරි උතුරන

කළු අඳුරු ලෙය නයෙකුව

ටයිල් මේසෙන් බැස

නිහඬව ලලිත ගමනක

 

හද බිත විනිවිදින සැත

එහි මුදු මෙලෙක නොතකයි

සිරගත සිතුම් අපමණ

ලිහි ලිහී ගිලිහී යයි

 

නොදොඩාම කිසිවක්

ඉවසන, හිතන, වද වෙන

අම්මා හොරෙන් හංගන

කඳුළු මගෙ හද බිතෙක දිලිසෙන

 

නෑදෑ මඟුල් ගෙදරක

බර අබරණ ඇඳන්

මස් කටු හපන

අතැඟිළි ලොවින

නෑදෑ ගෑනු,

 කසු කුසු ගාන

 

ඇස් ලොකු කරන්

කටවල් ඇරන්

පුදුමෙන් හොරෙන්

මා දෙස බලන්

 

" අපේ ලේ නං නෙමේ ඔය

ගානවා දැලි පවුලෙ නම්බුවෙ.."

 

උන් ඇන්න පොඩි කට්ට

හිතේ පතුලේ ඇනී

කහ සැරව එකතු වී

විසර ගෙඩියක් නැගී

 

මට හිමි අසුන කොයිකද?

පැනයකි හිතට වද දුන්

හිඳ නොයෙක් අසුන් වල

නැගිටිමි නුහුරු බව විඳ

 

අසල අසුනක හිඳි

ඔබ හා දෙඩූ දවසක

මතක ද ඉවර වුනු හැටි

වචන…

 

වචන ඔක්කොම, එකට ගුලියට

හිකනලෙක්, මාපිලෙක් විලසට

ඇදෙනවා මිස හිතේ පතුලට

නො එයි ඒවා බයයි එළියට

 

තිබේ කම්මුල් පාරක්

හිතේ මූණට වැදුනු

නැවත නැවතත් රිදෙන, පෑරෙන

රිදුමකි ය එය සදා නොනිමෙන

 

අඳුරු කළු හිත පතුලේ

වෙළෙන දඟලන නාගයින් සේ

ආසාවන් ය අපමණ

පෙන නගන, සුස්මන

 

නිල්, කොළ, රතු, රෝස

බඩ වැල් ය ගලන, ලෙලදෙන

සුකුරු, මල, මූ ය වැගිරෙන

අව පැහැති නෙත් තුල

අඳුරකි සෙමෙන් පැතිරෙන 

 

එකතු කර, ගොණු කර

කළු පොලිතීන් මළු තුල

හිත් පසට යට කල පසු

දුඟද දෙන මෙ සිරුර

 

සෝදා පිස දමා

ඉස සුවඳ පැන්

පෙර තිබු පරිද්දෙන්

මෙතැන පිලිවෙල කල පසු


හිටගෙන වතුර මල යට

නෙත් පියාගෙන තදට

සෝදා කඳුළු, ලේ

පිසදා සුපිරිසිඳු කොට

මද සිනාවක් ඇඳ

නැවත පිටතට යා යුතු

Tuesday, December 31, 2013

අප දෙදෙන මැද මහ මුහුද



මම

ගල් මල් අතර
නිල් රතු මාළු පීනන
පොඩි මුහුදකින් වටවුණ
පොල් ගස් කොදෙව්වේ



සුදුවට හිනා වෙන
ඔබේ කළු කොල්ලා මං

තෙත කළු මිදි දෑස්
ගත පුරා කළු මවිල් ගස්
නටන නලියන කළු මස්
මිස මගේ ඩා බිඳක ගඳක් සුවඳක්
නොපෙන්වයි ඔබට මා
පෙන්වන තිරය හතරැස්

තද රතු වද මලක්
රන්වන් මුහුදු වෙරළක්
බිළිඳු තේ දළුවක්
කළුම කළු තුණු සිරුරක්
ඔබට මා අන් කවරක්?

ඔබ

සිඟරට් දුම් වලා මැද
සුවඳින් ම තේරූ
ඉපැරණි වයින් විත
සිසිරයෙ දිග රැයක
අතරමං මේපල් පත

මා නිවන දල්වන ලා නිල් ඇස්
අතගා බලනු බැරි රන්වන් කෙස්
වැඩිපුර නොතේරෙන අමුතු බස්
ඔබය නිදි නැති මහ අහස හිස්

සුදු පටු කුඩා කුටියක
දුඹුරු බලු පැටියෙකු සමඟ
කුඩා කවුළුවකින් එබෙන
ඔබය අත දිග මදි වුණ

ඇත්තටම මම

අලුතින් නගී සුදු කෙස්
එක දෙක හිස මතට
වෙහෙසයි හිඳ ගනිමි
හිස මදක් පහත් කොට

ඇත්තටම ඔබ

????

අප දෙදෙන මැද මහ මුහුද


Friday, November 22, 2013

නිදිකුම්බා



ලැජ්ජයි තමයි නිදිකුම්බා දළු
ආයෙමත් ඇහැරිලා හිනාවෙයි
කිව්වට එවුං

අත තිබ්බෙ නෑ මං, එතකම්ම
ඒ කාලෙ මං බයයි
කවි ලිව්වා විතරමයි

වැහි රෑක හීතලේ වෙව්ලද්දි
මං එක්ක නිදි මරපු රැහැයියන්
එක දිගට කිව්වේම උඹ ගැනයි
මං ලිව්වෙ උන් කිව්ව කවි තමයි

ලා ලපටි රෝස පැහැ ලා දල්ල
ඇල්ලුවේ ඉවසලා ඉවසලා
බැරිම වුනු තැන තමයි
පෙති දෙපෙති එකතුවී
ගුලි වෙවී ඇකිලෙද්දි
උඹ නෙමේ හුඟක් ඇඬුවේ මමයි
කන් පෙතිත් රතු වුනා නම් තමයි


බය ඇරී උඹ ආයෙ ඇහැරුනත්
බර කකුල් මහ හුඟක් පාගද්දි
ආයෙමත් ආයෙමත් හිනාවී ඇහැරුනත්
ඒ එදා නිදාගත් මගෙ හිතට
ඇහැරෙන්න බැරි මොකෝ
පහුකරන් හුඟක් දේ
මේ තරං මහ දුරක් ආවමත් ?

Sunday, October 27, 2013

වන වාසය

ලිය වැල්ය
වෙලෙන, පැටලෙන
මහ වැසි වැටෙද්දී
තෙමෙමි තනියම

හැම ගල් ගුහාවෙම
නිදි කුමරියන්
මදක් තොල් උල් කර
හොරට බුදියන

Thursday, October 24, 2013

අතුරුදන් කළ මිනිසෙක්




 සියවසෙන් සියවස

 මල් ලියකමින් බර කළ 
වදන් කැටයම් තුළ 
නිදන් කළ, වදන් නැති කවියකි
 බර පොත් පිටු අතර


 කුස තණ අට මිටක් මත
 හිඳ එකලාව අරණක
 මදහස නැගූ මිනිසෙකි 
පියුම්, විදුරසුන් මත හිඳුවා
 බඹයෙන් බඹය උස් කර 
ලැකර් ගා නෙත් අඳ කළ


 සොඳ සුවඳ මල් වැසි මැද
 ගිඟුම් දෙන වන්දනා නද තුළ 
දැවෙද්දිත් අපමණ පහන් තිර
 නොපෙනී අතුරුදන් කළ
 මිනිසෙකි සරල, සුන්දර