Wednesday, April 3, 2013

ජින්නෝ


උරුක් කර දබරැඟිලි
තබා මා වටකර
කළු අකුරු ඇති සුදු පොත්
වසා ගිය පසු ඔවුන් දොර

ඔබ දෙදෙන මැද හිඳ
පැද ගියෙමි ඔරුව
ගඟ දිය දෙබෑ කර
දුරට, දුර ඈතට
පර්චස් අටෙන් එපිටට
අපට හිමි අපේ දූවට

අවුල් කර කෙටි කෙස්
සුළඟ කිති කවන විට හිත්
ඔබ හා හිඳිද්දී
දිලිසුනා මගෙ ඇස්

අත පත ගගා අපි හැදු
ගහ වැල හිනා වීගෙන
උදේ පිණි ඉහිනකොට
දැනුනා හීතලක් හිතට


බොරු නෙමේ සත්තකට
හිතේ තිබුණා හීන් කහටක්
එකට, එක පෙළට හිට නොගෙන
ඔබ දෙවෙනි වූ එක ගැන
ලොකුවට හිතන ගිනිවැල්ලෙට

කඩා බිඳ දා ආ ඔරුව
රුදුරු හොල්මන් පිරුණු
පිඹුරු, වග වලසුන් දරුණු
ගොදුරු සොයනා වන ගැබේ දුර
අතරමං වෙන්නටයි ඔබ හා
හිතා හිටියේ එදා පොඩි මං

හමුදා මුර කපොල්ලක
මජං තවරාගෙන ගරාජෙක
ගඩොල් දළු ලන තැනක
දකිනවා දැනුත් මඟ තොට
ආදරේ හිතෙන ඔය හිනා කට

මදු විතක් පුරන්නට
එදා වාගේ හිනා වෙන්නට
කර වටේ අත දමන්නට
ආසයි අදත් මට
ඒත් ජින්නෝ.............

3 comments:

  1. වික්‍රමසිංහ මාටින්
    මහා තක්කඩියෙක් බං

    ජින්නලා උපාලිලා
    උන්ගේ ලෝක හොයන්නට
    එක එක රේල් පාරවල් දිගේ ඇවිද්දවපු

    පාරේ ඈත කොණක
    ලස්සන මඩොල් දූවක්
    ලඟට යනකොට ඒකත්
    ඒ ගානට ම ඈත් වෙන

    අන්තිමේදී උන්ට
    කඩේක වේටර් කමක්
    ගැරේජ් එකක මජන් ජොබ් එකක්

    එහෙම නැතිනම්
    ඇඩ්රස් නැති මරණයක්

    තක්කඩියෙක් ඔය වික්‍රමසිංහ
    ළමයින් කඩේ යවාපු

    ReplyDelete
  2. උපාලි මහත්තයෝ මගේ ඇඟේ හිරිගඬු පිපුණා මේ කවිය කියවලා. මමත් ජින්නා.

    ReplyDelete