Sunday, October 27, 2013

වන වාසය

ලිය වැල්ය
වෙලෙන, පැටලෙන
මහ වැසි වැටෙද්දී
තෙමෙමි තනියම

හැම ගල් ගුහාවෙම
නිදි කුමරියන්
මදක් තොල් උල් කර
හොරට බුදියන

Thursday, October 24, 2013

අතුරුදන් කළ මිනිසෙක්




 සියවසෙන් සියවස

 මල් ලියකමින් බර කළ 
වදන් කැටයම් තුළ 
නිදන් කළ, වදන් නැති කවියකි
 බර පොත් පිටු අතර


 කුස තණ අට මිටක් මත
 හිඳ එකලාව අරණක
 මදහස නැගූ මිනිසෙකි 
පියුම්, විදුරසුන් මත හිඳුවා
 බඹයෙන් බඹය උස් කර 
ලැකර් ගා නෙත් අඳ කළ


 සොඳ සුවඳ මල් වැසි මැද
 ගිඟුම් දෙන වන්දනා නද තුළ 
දැවෙද්දිත් අපමණ පහන් තිර
 නොපෙනී අතුරුදන් කළ
 මිනිසෙකි සරල, සුන්දර

Monday, September 23, 2013

මල් දම

තව ද: නො එක් ජාතියෙහි යක්ෂ රාක්ෂාදීන් වෙස් වළා අවුත් මා ම දන් ඉල්ලූ කල ඔවුන්ට මා දන් දුන් කල, ඔවුන් මා සල්ව සල්වා කෑ කල එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්,  නො එක් සතුන්ට  ගොදුරු නියා මා ම දුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද සසර නුඹ වහන්සේ මා හැර ගොස් පරස්ත්‍රීන් කෙරෙහි හසුව ……….
- පූජාවලිය - යශෝධරා අපදානය


සිඳිමි මල් දම
ඉපැරණි
සෙනේ ගැට දා හිර කල


පර මල් ය මේ
සුවඳ නැති
එහෙත්
මායා මතක සුවඳකි 


සපු ය, සෙව්වන්දි ය,
පරසතු ය, සුසුවඳ කොඳ ය
කිනම් මල් දැයි
කියනු නොහැකිය
ගිලිහෙන්න නියමිත පෙති ය


සියුම් ගැට දා තද කල
හුයකි බිඳි
නොබිඳෙතැයි අප පැතු


ඇනි ඇනී අපමණ කටු
නෙළු මල් ය කඳුළින් දෙවු
කිසි දා ක පරවෙතැයි
නොම සිතු


පණ ය තවමත් මේ
ඉතිරි අන්තිම මල
එහෙත් අමුණනු නොහැකිය
කෝ කොහිද ඒ හුය ?



Wednesday, April 3, 2013

ජින්නෝ


උරුක් කර දබරැඟිලි
තබා මා වටකර
කළු අකුරු ඇති සුදු පොත්
වසා ගිය පසු ඔවුන් දොර

ඔබ දෙදෙන මැද හිඳ
පැද ගියෙමි ඔරුව
ගඟ දිය දෙබෑ කර
දුරට, දුර ඈතට
පර්චස් අටෙන් එපිටට
අපට හිමි අපේ දූවට

අවුල් කර කෙටි කෙස්
සුළඟ කිති කවන විට හිත්
ඔබ හා හිඳිද්දී
දිලිසුනා මගෙ ඇස්

අත පත ගගා අපි හැදු
ගහ වැල හිනා වීගෙන
උදේ පිණි ඉහිනකොට
දැනුනා හීතලක් හිතට


බොරු නෙමේ සත්තකට
හිතේ තිබුණා හීන් කහටක්
එකට, එක පෙළට හිට නොගෙන
ඔබ දෙවෙනි වූ එක ගැන
ලොකුවට හිතන ගිනිවැල්ලෙට

කඩා බිඳ දා ආ ඔරුව
රුදුරු හොල්මන් පිරුණු
පිඹුරු, වග වලසුන් දරුණු
ගොදුරු සොයනා වන ගැබේ දුර
අතරමං වෙන්නටයි ඔබ හා
හිතා හිටියේ එදා පොඩි මං

හමුදා මුර කපොල්ලක
මජං තවරාගෙන ගරාජෙක
ගඩොල් දළු ලන තැනක
දකිනවා දැනුත් මඟ තොට
ආදරේ හිතෙන ඔය හිනා කට

මදු විතක් පුරන්නට
එදා වාගේ හිනා වෙන්නට
කර වටේ අත දමන්නට
ආසයි අදත් මට
ඒත් ජින්නෝ.............

Sunday, March 17, 2013



නැටුම

- දෙවොල් බෙරය විටෙක රුදුරුය, තවත් විටෙක වේදනාවෙන් ගැහෙන් හදක් මෙන් සෝබරය -
"අයාලේ ගිය සිතක සටහන්" - තිස්ස අබේසේකර.

වැසි වැටී
බොර වතුර සුළි නග නගා
පා තෙමන විට
ඉඩ දෙයි කුඩා කඩ පිල
මට සහ කුඩා දුම් උගුරකට
කුඩ, කුඩ, කුඩ…
පිලිවෙලක් නෑ දෙපසට….

ඇස පියූ විට
ඇසෙන්නේ දුරින් ඒ බෙර හඬ
උරිනුර ගැටී, තරු යට
එක්ව අත් අල්ලා අප ඇසූ

අතින් ගෙන පොල් මල
නටමි......
තබමි අඩි බෙර පදට
නගා හිස, සලා කෙස්
බලමි ඔබ දෙස...
නැත ඔබ,
කුඩ, කුඩ, කුඩ…
නන්නාඳුනන මුහුණුය
පියා දෑසම
නටමි....
බදා දෝතින් පොල් මල
ගසා ගමි හිසට, පපුවට
රිදෙන සේ පිට දෙපසට
නටමි....

නිවී ගිය පසු දුම
පා කරමි ෆිල්ටරය
සුළි නගන, පා තෙමන බොර වතුරෙහි