Thursday, March 31, 2011

ආදරණීය නිමාලි වෙතටයි


2002. 2. 27

තෙරුවන් සරණයි !

ආදරණීය නිමාලි වෙතටයි,

මට වැරදූනා. නිමාලි, මට ඔයාට ආදරණීය නිමාලි කියලා ලියන්න අයිතියක් නැහැ. ඔයා දන්නවා ඇතිනෙ දැන් මම රස්සාවට යන්නෙ නැහැ. මේ දවස්වල අත මිට හරි හිඟයි. ඒත් මං හොඳින් ඉන්නවා. ජීවිතේ කවදාවත්ම නොදැනිච්ච නිරෝගීකමක් දැන් මට දැනෙනවා. ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. මං මේ ලියන්නෙ ගිගුම්ගෙ බෝඩිමේ ඉඳන්. එදා හවස ඔයා ගෙදරින් ගිය ගමන්ම වගේ මාත් ගෙදරින් ආවා. දොරේ යතුර අර අඹ ගහ මුල තියන බෝගන්විලා පෝච්චිය යට ඇති. ඒ ආපු ගමන් තාමත් මම ගිගුම්ගෙ බෝඩිමේ.



අම්මලා; අපේ අම්මලා, ඔයගොල්ලන්ගෙ අම්මලා, හැමෝම මාව හොයනවා ඇති. ඒත් කරන්න දෙයක් නැහැ. මට තීරණේකට එන්න, හිත හදා ගන්න ටික දවසක් ගියා. ඒකයි මම හැංගිලා හිටියෙ.

ඉතිං.....? කියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් ගිගුම්ගෙ මේස ලාච්චුවෙ තියෙන්නෙ කොළ බොහොම පොඩ්ඩයි. පුළුවන් තරම් කෙටියෙන් මම ලියන්නම්. මේ එක්කම අපේ ගෙදරටත් ලියුමක් ලියන්න ඕනෙ. එක අතකට මට තීරණය කරන්න දේකුත් නැහැ. හැමදේම ඔයාලා තීරණය කරලා, තීරණය වෙලා ඉවරනෙ. මට තියෙන්නෙ ඔළුව නමන්න විතරයි.

මං දන්නවා මේ ඔක්කොටම මුල අර රමණි කියන පරට්ටිගෙ කේළං. එක අතකට මං රමණි ගැන නරකෙට හිතන එක වැරදියි. මමයි එතන වැරදි. වැරැද්ද රමණිට කලින්, බොහොම කලින් ඔයාව කසාද බඳින්න කලින් ඒ දේවල් ඔයාට නොකියපු එකයි. රමණි ඔයාගෙ යාළුවා. එයා ඔයාට උදව් කළා. දැන් මට හිතෙනවා මට කියා ගන්න බැරුව තිබිච්ච ඒවා ඔයාට කියලා රමණි මටත් කළේ උදව්වක් කියලා. රමණි නිතරම ඔයාව හම්බවෙන්න එනවා ඇතිනෙ. කියන්න රමණිට මං බොහොම ස්තුතියි කිව්වා කියලා. දැන්නම් ඔයාට කියන්න රමණි ගාව ඒ තරං දෙයක් නැතුව ඇති. මං මෙහාට ආපු දා ඉඳලා ගිගුම් ඔෆිස් යන්නෙ කෝච්චියෙ නෙමේ.

මට ඔයා ගැන ලොකු දූකක් තියනවා. මගෙ අම්මා තාත්තා ගැන ලොකු දූකක් තියනවා. පපුවෙ ලොකු ගලක් හිරවෙලා වගේ වෙලාවකට මට දැනෙනවා. ඒත් මං දැන් මේ ගෙවන්නෙ මගෙ ජීවිතේ නිදහස්ම දවස්. මොකද මම දැන් මම ම නිසා. රමණි කිව්වට වැඩිය දේවල් , ඔයාට මං කිවයුතුව තිබුණු ඒත් නොකිව්ව දේවල් මම දැන් ඔයාට කියන්නම්. මං එහෙම කියන්නෙ ඒ දේවල් ඔයාට දැන ගැනීමේ අයිතියක් තියනවා කියලා මම විශ්වාස කරන නිසා. අනික මට තවදූරටත් මාව සැහැල්ලු කරගන්න උවමනා නිසා.

එදා හවස මං ගෙදරට ආපු ගමන්ම ඔයා මට දමලා ගැහුවෙ මං පිළිකුල්ම කරන වචනෙං. ඒකෙන් මාව රිද්දෝපු පළවෙනියා ඔයා නෙමේ. හැබැයි අන්තිමයත් ඔයා නොවෙන වග මම දන්නවා. එදා මම එනකොට දොරවල් ජනෙල් ඔක්කෙම වහලා තිබිච්ච නිසා මම හිතුවෙ ඔයා ඔෆිස් ඇරිලා ඇවිල්ලා නැතුව ඇති කියලා. ඒත් ඔයා අපේ කාමරේ ඇඳ උඩ කරුවලේම , සාරිය පිටින්ම , කොණ්ඩෙ කඩාගෙන , කොට්ටයක් තුරුල් කරන් ඉන්නවා දැක්කම මට තේරුණා කොතන හරි මොනවා හරි වැරුද්දක් සිද්ද වෙලා තියනවා කියලා .

"ponce....."

ඔයා ලිප්ස්ටික් බොඳ වෙච්ච ඔය ලස්සන තොල් උල් කරලා ගිරිය යටින් බළල් සද්දෙකින් කෑ ගැහුවා. මට හැම දෙයක්ම හොඳට තේරුණා.

මුලින්ම මට ඔය ජරා තුප්පහි වචනෙන් බැන්නෙ අපිට අටේ පංතියෙදි පී . ටී කරපු කුලරත්න සර් '' නිකං ponce කෙනෙක් වගේ නැතුව හොඳට අත උස්සලා බෝල් කරපං බුරුවො '' ක්රිකට් ප්රැක්ටිස් වලදි සර් මගෙ ඇඟට කඩන් පැන්නා. අපේ පංතියෙ හිටිය ක්රීඩා වලට අදක්ෂම ළමයා මම. ponce කියන වචනෙට මලලසේකර ඩික්ෂනරියෙ දීලා තියන තේරුම ගණිකාවන්ගෙන් යැපෙන්නා. එදා කුලරත්න සර් බැන්නට පස්සෙ මම මං අද තව වෙනකං බෝලයක්වත් බැට් එකක්වත් අතින් අල්ලලා නැහැ. එදායින් පස්සෙ පී. ටී තියන දවසට එක්කො මම ඉස්කෝලෙ යන්නෙ නැහැ. එක්කො මට පී. ටී පීරියඩ් එකේදි බඩේ අමාරු , ඔළුව කැක්කුම්, කලන්ත හැදෙනවා. අපේ පංතියෙ කොල්ලො මං දිහා බැලුවෙ බිඳෙන වීදූරු බඩුවක් දිහා බලනවා වගේ. සමහරවිට මං නැති තැන උං මට හිනා වෙන්න ඇති. මං බොහොම කීකරු නිෂ්ශබ්ද ළමයෙක් හින්දා, ගුරුවරුන්ගෙ සුරතලෙක් හින්දා උං මං දිහා බැලුවෙ උංගෙ ගොඩට අයිති නැති පිටස්තර සතෙක් දිහා බලන විදියට. මට ඉස්කෝලෙදි කවදාවත්ම කිසිම කිට්ටු යාලුවෙක් ඉඳලා නැහැ. සමහරුන්ට මාත් එක්ක යාලු වෙන්න ඕන වුනත් මම හැමෝවම ආශ්රය කලේ දූරක ඉඳන්. ඒක මං හිතලා කරපු දෙයක් නෙමේ ඉබේ වෙච්චි දෙයක්. දූරින් මං ආශ්රය කරපු උං මාව ආශ්රය කලේ ගෙදර වැඩ කොපි කර ගන්න. මං උංව ආශ්රය කලේ මං තනියම නෙමේ ඉන්නෙ කියලා අනිත් අයට අඟවන්න. මගෙ යාළුවො වුණේ පොත්. අයියලා හවසට වෙලේ ක්රිකට් ගහන්න සරුංගල් අරින්න යනකොට නංගිත් ඒ පස්සෙන් දූවනවා. ඒත් මං ඉරිදා පත්තර ටික ළඟට කරගෙන අකුරක් නෑර කියවනවා.

පුංචිම කාලෙ ඉඳලා මං දැනගෙන හිටියා මං අනිත් අයගෙන් වෙනස් කියලා. මොකක්ද ඒ වෙනස කියලා මට පැහැදිලි තේරුමක් තිබුණෙ නැහැ-----. ඒක කායික වෙනසක් නෙමේ කියන්න මම දැනගෙන හිටියා. තාත්තා තිරිකුණාමලේ ඉඳලා නිවාඩුවට ගෙදර ආවම මට වැඩිය හුරතල් කලේ අයියවයි නංගිවයි. '' මේකා හරි සෝමාරියිනෙ '' කියලා තාත්තා මං දිහා බැලුවෙ තෙම්ච්ච බළල් පැටියෙක් දිහා බලනවා වගේ.

මං නිතරම පොත් වලටම ඇලීගෙන ඉන්න නිසා අම්මා බය වුණේ මගෙ ඇස් දූර්වල වෙයි කියලා. මං පොත් කියවනකොට අම්මා මට තේ හදලා ළඟට ගෙනත් දෙනවා. එයා දැනං හිටියා මං වෙනස් කියලා. මට හොඳටම විශ්වාසයි අම්මා අයියටයි නංගිටයි දෙන්නාටම වඩා මට ආදරෙයි කියලා. ලොකු අම්මලගෙ, නැන්දලගෙ, මාමලගෙ ළමයි අතරෙ මං හරි විශේෂ වුණා. කවුරු හරි ළමයෙක් දඟ වැඩක් කලොත් වැඩිහිටියො කිව්වෙ '' බලන්න නුවන් පුතා, ඔය විසේ නතර කරලා එයා වගේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවකො '' කියලා. ඒත් මං පාඩුවෙ ඉඳලා වින්ද ඒ හුදකලාවෙ වේදනාව කාටවත්ම තේරුණේ නැහැ. නෑදෑයන්ගෙ ළමයි මං දිහා බැලුවෙ සර්පයෙක් දිහා බලනවා වගේ හිරිකිතෙන්.

එක අතකට මේ පරණ යාං හෑලි ඔයාට වැඩක් නැතුව ඇති. ඒත් මං මේවා ඔයාට කියන්නම ඕනෙ. මුලින්ම මට ආදරයක් හිතුණෙ දහයෙ පංතියෙදි අපට සිංහල උගන්නපු සර් කෙනෙකුට. එයා උගන්නන්න පංතියට එනකොට මගෙ පපුව ගිඩි ගිඩි ගෑවා. ගෙදරදි පොත් කියවද්දි මට එයාව මැවිලා පෙනුනා. ඒ කාලෙ මම නිතරම දවල් හීන බැලුවා. ඒක කවුරුවත් නොදන්න ඒකපාර්ශවීය ආදරයක් . ගිගුම්ට වුණත් මං ඒ ගැන කිව්වෙ මේ ළඟදි. ඒ සර් අපිට ගණන් උගන්නපු කෙට්ටු කැත මිස් කෙනෙක්ව කසාද බැඳලා මාරුවක් අරන් එයාගෙ ගමට ගියා. මේවා කියවනකොට ඔයාගෙ මුණ අප්පිරියාවෙන් විරූපි වෙන හැටි මට පේනවා පේනවා වගේ.

මාත් ඒක පංතියෙ එකට හිටපු ළමයි කෙල්ලො ගැන උනන්දූ වෙනකොට, විභාග වලින් ලකුණු අඩුවෙන් ගන්නකොට මං ඒ හැමොටම වඩා ලකුණු අරගෙන විභාග පාස් කරගෙන කරගෙන ගියා. ඔයා විශ්වාස කරයිද මංදා ඒ ලෙවල් ක්ලාස් එකේදි මාත් කෙල්ලෙක් එක්ක යාළු වුණා. හරියටම කිව්වොත් ඒකි මගෙත් එක්ක බලෙන් යාළු වුණා. ඒ දීපිකා. ඒ කාලෙ මම මම කවුද කියලා තේරුම් අරන් හිටියෙ. ඒත් මම එයත් එක්ක යාළු වුණා. ඇත්තටම කිව්වොත් ඒක වටේ පිටේ අයට පේන්න කරපු ප්රදර්ශනාත්මක ආදරයක්. ඒකි ආදරේ කලේ මට නෙමේ ඉස්කෝලෙ මට තිබිච්ච පිළිගැනීමට. මං ආදරේ කලෙත් ඒකිට නෙමේ ඒකි මාත් එක්ක ගැවසෙනකොට වට පිට අය දකින දේට. ඒකට මොකක්ද කියන වචනෙ ? අපේ සම්බන්දෙ ගැන ඉස්කෝලෙ හුඟක් දෙනා පුදූම වුණා. ඒකිත් එක්ක තනි වුණාම මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ. මම කියෙව්වෙ මං කියවපු පොත් ගැන මට හිතෙන දේවල්. ඒකිට ඒවා තේරුණාද මම දන්නෙ නැහැ. ඒකි ඇස් දිලිසෝ දිලිසෝ මං දිහා බලන් හිටියෙ . හිටපු ගමන් මගෙ අත් වලින් අල්ලගෙන ඇස් වලට එබුණා. මං කවදාවත්ම ඒකිට ''මං ඔයාට ආදරෙයි ''කියලා නැහැ . අන්තිමට ඒකිත් ඔයා වගේ භූමි කම්පාවක් ඇති කරලා ගියා. මම එදා එයත් එක්ක කියව කියව හිටියෙ මං කියවපු රුසියන් කෙටි කතාවක් ගැන. එයා හොඳට ඒවා අහගෙන හිටියෙ වෙනදටත් වැඩිය උනන්දූවෙන්. අපි එදා හිටියෙ ඉස්කෝලෙ පිට්ටනිය අයිනෙ අරලිය ගහක් යට. එකපාරටම දීපිකා මගෙ අත ඇල්ලුවා, ආයිත් අත ගසලා දැම්මා. ගස්සලා යන්න ගියා. එච්චරම තමා. පස්සෙ ඒකි අපේ පංතියෙම වෙන කොල්ලෙක් එක්ක යාළු වුණා. ඒත් ඉන්පස්සෙ ඒකි මං ගැනවත් අපේ සම්බන්දෙ ගැනවත් කිසිම කෙනෙක් එක්ක කිසිම දෙයක් කියලා තිබුණෙ නැහැ. ඒ කාලෙ වෙනකොට මට ඉගෙන ගන්නත් එච්චර උනන්දූවක් තිබුණෙ නැහැ. මං දැනං හිටියා මාව විභාගෙන් පාස් වෙන බව. මං ඔහෙ අතට අහුවෙන පොත් කියව කියව හිටියා.

දීපිකා ඈත් වුණාට පස්සෙ මට තව කෙල්ලෙක් එක්ක යාළු වෙන්න වුවමනා වුණේ නැහැ. මට ඕනෙ වුනේ මම ම වෙන්න. මං ඒ දවස් වල පත්තරවල ගැටළු තීර වලට බොරු නම් ගම් එක්ක මගෙ ගැටළුව ලියලා දානවා. එක දොස්තර කෙනෙක් කියලා තිබුණෙ කළල අවධියෙ අම්මගෙ ගර්භාෂෙ ඇන්ඩ්රොජන් සාන්ද්රනය අඩු වුනාම උපදින ළමයි පස්සෙ කාලෙක තමන්ගෙම ලිංගෙ අයට ආකර්ෂණය වෙනවා කියලා. තව කෙනෙක් මේක ජාන වලින් එන දෙයක් ය , තවත් දොස්තර කෙනෙක් මේක පෞරැෂ වර්ධනයෙ ප්රශ්නයක්ය වගේ උත්තර දීලා තිබුණා. හැබැයි මේ හැම කෙනාගෙම උත්තරය වුණේ මේක ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑය, එහෙම නැත්තං මේ ගතිය පස්සෙ ඇරේවිය, අනවශ්ය දේවල් හිතන්නෙ නැතුව අධ්යාපනයට හිත යොදවන්නය, කසාදයක් බැන්දහම හරියා ය වගේ අදහසක් . දෙයියනේ තමන්ගෙ අවශ්යතාවය අනවශ්යය දෙයක් වෙන්නෙ කොහොමද?

ඒ ලෙවල් ඉවර වෙචිච ගමන්ම මට කච්චේරියෙ රස්සාව හම්බ වුණා. ඒකට ගොඩක් උදව් කලේ තාත්තගෙ යාළුවා පෙරේරා අංකල්. ඒ දවස් වල මං සෑහෙන්න ඇවිස්සිලා හිටියෙ. බස් එකේ , කෝච්චියෙ, පාරෙ ඔය කොහෙදි හරි වුණත් මං කැමති විදියෙ පිරිමියෙක් දැක්කම මාව ගිනි ගත්තා. සමහර මිනිස්සුත් එක්ක මං අනවශ්ය විදියට හිනා වෙනකොට, මුණ දිහා බලා ඉන්නකොට ඒ අය අපහසුතාවයට පත් වෙලා අහක බැලුවා. සමහරු මහ කැත විදියට කටවල් හදලා හිනා වුණා. දවසක් නුගේගොඩදි . . . . . එක අතකට මේවා ඔයාට කියන එක තේරුමක් නැති වැඩක්. ගොඩක් වෙලාවට ඔයා මේවා තේරුම් ගන්න එකකුත් නැහැ.

මං රස්සාවට යන්න අරන් මාස හයකට විතර පස්සෙ තමයි ගිගුම්ව හම්බ වුණේ. ඔෆිස් යද්දි කෝච්චියෙදි තමයි මම ගිගුම්ව මුලින්ම දැක්කෙ . මතකද ඔයාව බලන්න මං අම්මලත් එක්ක ඔයාලගෙ ගෙදර ආපු දවස ? එදා ඔයා මාව දැකලා ඔයාට හිතිච්ච දේවල් පස්සෙ දවසක මට විස්තර කලා. ඒ වගේ දෙයක් තමා ගිගුම්ව දැක්කම මටත් දැනුනෙ. ගිගුම් ගියෙත් මං ගිය කෝච්චි පෙට්ටියෙමයි. එයා කෝච්චියට අළුත්. මුල් දවස් වල අපි හිනා වුණා විතරයි. එයාගෙ හිනාව හරි ලස්සනයි. පස්සෙ පස්සෙ අපි පොඩි පොඩි දේවල් ගැන කතා බහ කලා. කෝච්චියෙ තද බදේ ගැන, වැස්ස ගැන, ඡන්දෙ ගැන. එයයි මමයි හොඳ යාළුවො වුණා. එයා කෝච්චියට නැග්ගෙ මම නැගලා ස්ටේෂන් දෙකකට විතර පස්සෙ තියන ස්ටේෂන් එකකින්. මම හැමදාම එයා කෝච්චියට නඟිනකං බලන් ඉන්න පුරුදු වුණා. එයත් නඟින්න කලින්ම බෙල්ල දික් කර කර මං ඉන්නවද බැලුවා. අපි හැමදාම ගියෙ හිටගෙන. හවසට එනකොට එයා ආවෙ පහයි පහේ කෝච්චියෙ. මම ආවෙ පහයි හතලිස් පහේ එකේ. ටික දවසකින් එයා මාත් එක්කම යන්න පහයි හතලිස් පහ වෙනකං කොටුවෙ ස්ටේෂන් එකේ ඉන්න පුරුදු වුණා. අපි බංකුවක් උඩ ඉඳන් එකිනෙකා දිහා බලන් හිටියා. මොන්ටිසෝරි යන ළමයි වගේ අත් වැල් පටලගෙන ඉවරයක් නැතුව චුරු චුරු ගගා කතා කලා. එයා නිවාඩු දාලා ගමේ ගිය දවසට මට මහ සොහොන් පාළුවක් දැනුනා. මං හැමදාම රැට නිදා ගත්තෙ ගිගුම් ගැන හිත හිත. උදේට නැගිට්ටෙත් එයා ගැන හිත හිත. මම දැකපු සමහර හීන වල එයයි මමයි එක එක දේවල් කලා. ගැස්සිලා ඇහැරුනාම මගෙ සරම තෙත් වෙලා තිබුණා. එයාගෙ අත අල්ලලා තියනවා ඇරෙන්න ඊට එහා දේකට ඒ වෙනකන් කවදාවත් මම ගිහින් තිබුණෙ නැහැ. ඒ වෙනකොට මටත් දරා ගන්න බැරි තරමට මම එයාට ආදරේ වෙලයි හිටියෙ. මට බය හිතුණා එයාට ඒක තේරිලා මාව දාලා යයි කියලා. ඒත් පපුව පිරෙන්න මං එයාට ආදරෙයි කියලා කියා ගන්නත් මට ඕනෙ කම තිබුණා. මට දැනුනා එයා අනිත් අයට වඩා වෙනස් සුවිශේෂ මනුස්සයෙක් කියලා. ඒත් දෙයියනේ මිනිහෙක් කොහොමද කටක් ඇරලා තව මිනිහෙකුට ආදරෙයි කියන්නෙ.

එක සිකුරාදාවක ගිගුම් මට ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලා. අපි ගියෙ සෙනසුරාදා. ෆිල්ම් හෝල් එකේ ලයිටි ඕෆ් කලාම මම සැරින් සැරේ එයා දිහා බැලුවා. එයත් මගෙ දිහා හොරෙන් හොරෙන් බලනවා මම දැක්කා. කළුවරේ එයාගෙ ඇස් දිලිසුනා. මට දැනුනා එයාගෙ අත මගෙ අතේ ගෑවෙනවා. මම මගෙ අත තව ටිකක් කිට්ටු කලා. එයා මගෙ දිහා බලලා හිනා වුණා හරියට හොර වැඩක් අහු වුණා වගේ. ඉස්සෙල්ලා එයාගෙ අත ඇල්ලුවෙ මම ද මගෙ අත ඇල්ලුවෙ එයාද කියලා අදටත් සමහර වෙලාවට මම හිතනවා. ටික වෙලාවකින් එයාගෙ අත මම සිනිඳුවට අත ගාමින් උන්නා. ටිකකින් හෝල් එකේ ලයිට් පත්තු වුණා. එයා මට මූණ දෙන්න බැරුව වගේ අහක බලා ගත්තා. මං අපි දෙන්නටම අයිස් චොක්ස් ගෙනාවා. මගෙ හිත ඇතුලෙ මහා කුණාටු දහස් ගාණක් හමම්න් තිබුණා. ඒක දරා ගන්න අමාරු සතුට කලවම් වෙච්ච සංකීර්ණ හැඟීමක්. අපි දෙන්නම නාඳුනන දෙන්නෙක් වගේ කතා බහක් නැතුව අයිස් චොක්ස් කෑවා. ආයිත් ලයිට් ඕෆ් කලාම ඉක්මන් වුණේ මමයි. මම එයාගෙ අතක් අරන් මගෙ අත් අතර තියලා මිරිකුවා. පස්සෙ මම ඒ අත සිනිඳුවට ආදරෙන් අත ගෑවා. මාව ගිනියම් වෙලා හිටියෙ. ඒක අමුතුම මත් ගතියක්. එයා සැරින් සැරේ මගේ දිහා බලලා යන්තමට හිනා වුණා. ෆිල්ම් එක ඉවර වෙනකොට අපි දෙන්නට දෙන්නා කවුද කියලා දන්නවා. හැබැයි ෆිල්ම් එකේ මොනවා තිබුණද කියන්න දෙන්නටම මතක නැහැ.

එදා මට දැනිච්ච නිදහස මහ පුදුම එකක්. ඒක නිකං හරියට අවුරුදු ගාණක් කූඩු කරලා හිටපු කැළෑ සතෙක් ආපහු කැළේට නිදහස් කරපුවාම ඌට දැනෙන හැඟීම වගේ එකක් . ඒක මහ පුදුම හැඟීමක් නිමාලි. අපි ෆිල්ම් එක ඉවර වෙලා කරුවල වැටෙන කල්ම ඔහෙ පාරවල් දිගේ ඇවිද්දා. හේතුවක් නැතුව හයියෙන් හිනා වුණා. ඇත්තටම අපි පියාඹමින් හිටියෙ. දකින මිනිස්සු හිතන්න ඇති අපිට පිස්සු කියලා.

මං සමහර සති අන්ත වල ගිගුම්ගෙ බෝඩිමට යන්න පුරුදු වුණා. ඒත් ගිගුම් කවදාවත්ම අපේ ගෙදර ආවෙ නැහැ. එයා එහෙම එනවට මම කැමති වුණෙත් නැහැ . ඒවා හුඟාක් ලස්සන දවස්. අපි පොඩි පොඩි ට්රිප් ගියා. සීගිරිය, පාසිකුඩා, ලෝකාන්තෙ වගේ තැන් වලට ගිහින් ලාබ හෝටල් කාමර වල නැවතුණා. නිවාඩු දවස් වලත් මම ගෙදර නැති වුණාම අම්මලා හිතුවෙ මං ගෑනු ළමයෙක්ව යාළු කරගෙන කියලා. මහ රැටත් මගෙ ෆෝන් එකට කෝල්ස් එස් එම් එස් එනකොට අම්මා අහනවා කවුද ළමයො ඔය හැටි කතා කරන්නෙ කියලා. යාළුවන්ගෙන් කියලා කියනකොට එයාගෙ නළල රැළි වෙන හැටි මම දකිනවා. මෙච්චර කල් හිටපු නැති යාළුවො එක පාරටම කොහෙන් පහළ වුණා ද කියලා එයා හිතන්න ඇති. දවසක් රෑක මං අහගෙන තාත්තා අම්මට කියනවා '' පුතාට මොකක් හරි හරි ගිහිල්ල වගේ, අහලා බලනවා'' කියලා. තාත්තා හිතාගෙන හිටියෙ මම අයියා වගේ නෙවෙයි බොහොම හිතල මතල වැඩ කරන කෙනෙක් කියලා. ඔය කාලෙ අයියා ගෙදරට හොරෙන් නිලු අක්කව කසාද බැඳපු අලුත. අයියගෙ හරි නිලු අක්කගෙ හරි නම ඇහුනත් ඇති තාත්තට පරල වෙන්න. නංගිගෙයි ප්රියන්තගෙයි පටලැවිල්ලත් ඔය දවස් වල තිබුණා. දැන් තාත්තයි ප්රියන්තයි කිරියි පැණියි වගේ වුණාට ඒ දවස් වල නයයි පොළඟයි වගේ. ඉතිං තාත්තා මං ගැන කප්පරක් බලාපොරොත්තු තියං හිටියා.

දවසක් දා හවසක අම්මා මගෙන් මගෙ ගෑනු ළමයා ගැන ඇහුවා. මම ගත් කටටම එහෙම දෙයක් නෑ කිව්වම අම්මා හොඳටම පුදුම වුණා. තාත්තට ඕනෙ වුණා මාව ඉක්මනටම බන්දන්න. අම්මලා මගෙන් අහන්නෙත් නැතුව ඒ දවස් වල මට මඟුල් හොයන්න පටන් ගත්තා. ඒ වෙනකොට මගෙයි ගිගුම්ගෙයි ආශ්රයට අවුරුදු හතරක් විතර ඇති . ඉරිදා පත්තර වල මංගල දැන්වීම් කියවන එක අම්මගෙ විනෝදාංශයක් වගේ වුණා. තව කපු ගෑනු දෙතුන් දෙනෙකුටත් අම්මලා ලේලියක් හොයන වැඩේ පවරලා තිබුණා. මම ගිගුම්ට මේවා කිව්වම එයා කිව්වෙ ඔයාට හරියි කියලා හිතෙන විදියට වැඩ කරන්න කියලා. මට එයාගෙ බෙල්ල මිරිකන්න තරම් කේන්තියක් ආවා. අපි මෙච්චර අවුරුදු ගාණක් ආශ්රය කලේ ඔය ටික අහගන්නද ? ඒ වෙනකොට මගෙ ඔළුවෙ හිටියෙ ගිගුම් විතරමයි. මං හිතුවෙ එයා මට '' අපි දෙන්නා මේ වගේ දේවල් නීතියෙන් පිළිගන්න රටකට යමු , එහෙම නැත්තන් අපි දුර පළාතකට පැනලා යමු '' වගේ උත්තරයක් දෙයි කියලයි . මං එහෙම හිතුවෙ එක පැත්තක් අමතකම කරලා දාලයි. ගිගුම්ගෙ පවුලෙ හිටියෙ ගිගුම් විතරමයි. එයාගෙ අම්මවයි තාත්තවයි බලා කියා ගැනීමේ වගකීම එයාට තිබුණා. වෙන රටකට ගිහින් අපි ජීවත් වෙන්නෙ කොහොමද?, යන්න වීසා ගන්නෙ කොහොමද ? යන්න සල්ලි දෙන්නෙ කවුද ? දුර පළාතකට පැනලා ගියොත් අපි ජීවත් වෙන්නෙ කොහොමද? කොහෙද? ඒ වගේ දේවල් ඒ දවස් වල මගෙ මෝඩ ඔළුවට ආවෙ නැහැ. මං හිතුවෙ මං ගැන විතරමයි. මට ඕනෙ වුණේ සදහටම ගිගුම්ව තුරුල් කරන් ඉන්න විතරමයි. ගිගුමුයි මමයි වයසට ගිහිල්ලා පරණ දේවල් කතා කර කර ඉන්න දවසක් ගැන හීන මැව්වා. මට ගිගුම්ගෙ උරිස්සෙ ඔළුව ගහගෙන අඬන්න ඕනෙ වුණා. ඒත් මම එහෙම කළේ නැහැ මගෙ තියන උද්දච්ච කමට.

අම්මලගෙ බල කිරිල්ලට මම ගියා මනමාලියො හත් අට දෙනෙක් බලන්න . ඒ හැමෝවම ප්රතික්ෂේප කරන්න හේතු මං හොයා ගත්තා. ඒ වැඩි දෙනා ඉරිදා පත්තර මනමාලියො. අන්තිමට මං ආවෙ ඔයාව බලන්න. ඔයාවත් එහෙම ප්රතික්ෂේප කළා නං කියලා පස්සෙ මට හිතිච්ච වාර අනන්තයි. ඒ වෙනකොට මට ගිගුම්ගෙ දෙපැත්තට වැනෙන කතා එපා වෙලයි තිබුණෙ. මට මගෙ අම්මයි තාත්තයි ගැනත් ලොකු දුකක් තිබුණා. ඒ අයට අයියවයි නංගිවයි දෙන්නම අහිමි වෙලා හිටියෙ. අයියා නිලු අක්කත් එක්ක ඇනෙක්ස් එකක් අරන් හිටියා. නංගි හිටියෙ ප්රියන්තලගෙ ගෙදර. තාත්තා පොඩි ළමයෙක් වගේ අසරණ වෙලා හිටියා. මාවත් එයාලට අහිමි වුනොත්, අම්මෙකුට තාත්තෙකුට විඳින්න බැරි තරම් ලොකු නින්දාවක් මං නිසා එයාලට විඳින්න වුනොත්. ඒක මහ පවක් කියලා මට හිතුණා. අන්තිමට මම අම්මලත් එක්ක ඔයාව බලන්න ආවා. අම්මලා කැමතිනම් මම ඔයා බඳිනවා කියලා ඔයාව දකින්නත් කලින් තීරණය කරන් හිටියෙ. ඔයා හෙප්පුවක් අරන් ලැසි ගමනෙන් මගෙ ඉස්සරහට ඇවිත් ලාවට හිනා වෙලා ඇස් කොනෙන් මගෙ දිහා බැලුවා. ගෙදර ඇවිත් හරි සීදේවි කෙළි පැටික්කි කියලා අම්මයි තාත්තයි ඔයා ගැන කතා වුණා. එතනින් පස්සෙ වෙච්ච හැම දේම ඔයා දන්නවනෙ, ඔයා මට සාප කරයි. ඒත් මම ඇත්ත කියන්න ඕනෙ. ඔයාගෙ කිසිම ලස්සනක් මම දැක්කෙ නැහැ. මම ඒ තකතීරු තීරණේ ගත්තෙ මං වෙනුවෙන් නෙමේ මගෙ දෙමව්පියො වෙනුවෙන්.

ගිගුම්ට මම බඳින බව කියන්න ගියාම එයා ඇහුවෙ '' හොඳට හිතලද තීරණේ ගත්තෙ '' කියලා විතරයි. මං බලාපොරොත්තු වුණා ගිගුම් අඬයි කියලා. ඒත් එයා ඇඬුවෙ නැහැ. මං එන්න හදනකොට ගිගුම්ට කතා කර ගන්න බැරි වුණා එයාගෙ යටි තොල වෙව්ලුවා. ඒත් එයා ඇඬුවෙ නැහැ. අමාරුවෙන් මවා ගත්ත හිනාවක් පෙන්නුවා. ගිගුම් ඒ වෙලාවෙ ඇඬුවා නම් මේ හැම දේම මෙයිට වැඩිය වෙනස් විදියකට ඉවර වෙන්න තිබුණා. '' අපි ආයෙ මුණ නොගැහි ඉමු'' කියලා එයා කිව්වා. මම ගෙදර ආවෙ මළ මිනියක් වගේ. ඇවිත් කාමරේ දොර වහගෙන පැය ගාණක් ඇඬුවා. ඊට පස්සෙ මට පොඩි සහනයක් දැනුනා. මම කෝච්චියෙ නොගිහින් බස් එකෙන් ඔෆිස් යන්න පටන් ගත්තා.

ඔයත් එක්ක රත්තරන් බඩු තෝරන්න, සාරි තොරන්න ගියාට මං හිටියෙ රොබෝ කෙනෙක් වගේ. මාව ඇතුලෙන් මැරිලා හිටියෙ. අපේ වෙඩින් එක දවසෙ වෙච්ච කිසි දෙයක් මට මතක නැහැ. ඒක නපුරු හීනයක් වගේ. එදා කිතුල්ගල හෝටලේදි ඔයා ඇඳේ මුල්ලක වාඩිවෙලා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්නකොට මට අපි දෙන්නා ගැනම ඇති වුණේ ලොකු දුකක් . මම ඔයත් එක්ක ඉන්නකොට ඇස් පියාගෙන ගිගුම්ව මවා ගන්නවා. ඒත් ඒක හරි අසාර්ථකයි. ඔයා ගිගුම් නෙමේ, මට ඔයත් එක්ක හිටපු හැම දවසක්ම මහ විකාර හිරිකිත දවස්. අපේ ගෙදර ඉන්න බැහැ වෙනම ගේකට යමු කිව්වම, දැන්ම බබෙක් හදන්න බැහැ අවුරුද්දක් දෙකක් ඉමු කිව්වම, බස් එකේ වැඩට යන්න බැහැ වෑන් එකකට දාන්න කිව්වම, දෙපාරක් හිතන්නෙ නැතිව මම කැමති වුණා, ඒ මං ඔයා ගැන දුක් වුනු නිසා.ඔයා උගුලක අහුවෙච්ච කෙනෙක් නිසා. ඒ උගුල ඇටෙව්වෙ කවුද? මම ද? මගෙ දෙමව්පියො ද? කවුද? අනේ මංදා. '' මොකද ඔයා මං කියන හැම දෙයක්ම හොයන්නෙ බලන්නෙ නැතුව හා කියලා කරන්නෙ....?'' දවසක් රෑක ඔයා කොණඩෙ පීර පීර ඇහුවා. මගෙ ඔළුව අවුල් වුණා. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ ගෑනියෙකුට ඕනෙ කරන්නෙ කරන කරන දේට එපා කියන පිරිමියෙක් කියලා.

ඔයාගෙ ඔළුවෙ ඉන්න පිරිමියා විදියට හැඩ ගැහෙන්න කොච්චර උත්සහ කළත් මට බැරි වුණා. හැමදාටම ජීවිතේ පුරාවටම ගෑනියෙක් එක්ක ඉන්න වෙලා තියනවා කියලා හිතුණම මට තද හිසරදයක් වගේ වුණා. ඒ දවස් වල ඔයා රෑට දුහුල් නයිටියක් ඇඳන් මගෙ වටේ හොර ගල් අහුලනකොට, එක එක කෑම ජාති හදලා කන්න කියලා මට බල කරනකොට මට ඔයාව මහ විකාරයක් වුණා. ''මට කරදර නොකර යනවා ඕයි'' කියලා එලව ගන්නවද ඔයාගෙ තොඳොල් වැඩ වලට එකතු වෙලා ඔයත් එක්ක හුරතල් වෙනවද කියලා මට හිතා ගන්න බැරි වුණා. මට ඔනෙ වුනේ ඔයාගෙන් හැංගෙන්නයි. මම පුළුවන් තරම් උදෙන් ඔෆිස් ගියා. පුළුවන් තරම් රෑ වෙලා ගෙදර ආවා. ගෙදර ඉන්න වෙලාවට පොතක් පත්තරයක් අරන් පැත්තකට වුනා. මං හිතන්නෙ ඔයාට මාව එපා වෙන්න ඇති. මට නං ඒක කල් කදුරු වගේ තිත්ත ජීවිතයක්.

ඔයා වුනත් පිළිගන්නවා ඇති කාට වංක වුනත් තමන්ගෙ හිතට වංක වෙන්න බෑ කියලා. ඒත් මං එහෙම පුළුවන් කියලා මගෙ හිතට ඒත්තු ගන්නව ගන්න හැදුවට මටත් ඒක කරන්න බැරි වුණා. ඔයාට මතකද එක ඉරිදාවක ඔයා ඔයාලගෙ මහ ගෙදර යන්න මට කතා කලා. ඔයාට ඕනෙ කලේ මාත් එක්ක සාප්පු ගානෙ යන්න, ඔයාගෙ ගෙදර අය ඉස්සරහා මාත් එක්ක හුරතල් වෙන්න. ඔයාගෙ අයියලත් එක්ක මම බොනවා බලන්න. එයාල දෙපිට කැපෙන කතා කියනකොට හීන් බළල් සද්දෙකින් හිනා වෙන්න. ඒත් මට ඒ දේවල් තිත්තයි නිමාලි. ඔයාට දැන්වත් මම කියන දේවල් තේරෙනවද? තේරෙන එකක් නැහැ. ඒ ඔයා ඔයාම නිසා. එදා මං කිව්වා මට ඔෆිස් එකේ හදිසි වැඩක් ඔෆිස් යන්න ඕනෙ කියලා. මං බොරු කියනවා කියලා ඔයා ඇඬුවා. මං ලෑස්ති වෙලා යන්න ගියා. ඇත්ත තමයි මම එදා ඔයාට කිව්වෙ බොරු. මට යන්න තැනක් තිබුණෙ නැහැ. මගෙ ඔළුව ගිනි අරන් තිබුණෙ. මං ඔහේ බස් වල නැගලා ගියා. මගදි මට හිතුණා ගිගුම්ව බලන්න යන්න.

මං එහෙ ගියෙ මාත් එක්කම යුද්ද කර කර. ගිගුම් බෝඩිමේ හිටියා. එයා ඇහුවෙ නෑ ඇයි ආපහු ආවෙ කියලා. එයා මාව ඇල්ලුවෙ නැහැ. දුරින් ඉඳන් ඔහෙ බලා හිටියා. මම එයා ළඟට ගිහින් එයාගෙ කර වටේ අත දැම්මම හැමදේම ලේසියෙන් පරණ තත්වෙට ආවා. එ් මං ආදරේ කරපු පරණ ගිගුම් ම යි. ගිගුම් මං එයාව දාලා ගියාට පස්සෙ තිබිචිච සම්බන්ධතා දෙකක් ගැන පාපොච්ජාරණය කලා. ඒවා නිකං ලිංගික සම්බන්ධතා. එයින් එකක් නතර වෙලා. අනිත් එක ගැනත් එයා හිටියෙ ලොකු කලකිරීමක. ආයෙමත් හැම දේම හොඳ වුණා. අපි එකට කෝච්චියෙ ගියා . සති අන්ත වලදි මුණ ගැහුනා. නිමාලි ඒ කාලෙ මම ඔයත් එක්කත් සතුටෙන් හිටියා. ඒක ලොකු බරක් ඔළුව උඩ තියාගත්තු සැහැල්ලුවක්.

කෝච්චියෙ යන අය අතරෙ ගිගුම් ගැනයි මං ගැනයි එක එක කටකතා තිබුණු බව අපි දෙන්නම දැනගෙන හිටියා. සමහරු අපිත් එක්ක කටපුරා හිනා වෙලා ආයි අපිටම ඇහෙන්න සමච්චල් කතා කිව්වා. රමණිත් එහෙම කියපු කෙනෙක්. මං දැනං හිටියෙ නෑ රමණි ඔයාගෙ යාළුවෙක් කියලා. අපේ තාත්තා ලෙඩ වෙච්චි දවස් වල මම දවස් ගාණක් නිවාඩු දැම්මා ඔයාට මතකනෙ. ඒ දවසක රමණි ගිගුම්ගෙන් අහල තියනවා '' ඇයි ඔයාගෙ බෝයි ෆ්රෙන්ඩ්ට වෙන කොල්ලෙක් සෙට් වෙලාද දැන් දකින්න නැත්තෙ '' කියලා. ගිගුම්ට හොඳටම තරහ ගිහින් රමණිට බැනලා. මම කවදාවත් හිතුවෙ නෑ මේවා මෙච්චර ඉක්මනට ඔයාගෙ කණට යයි කියලා. ඒත් දැන් ඒක වෙලා ඉවරයි.

තවදුරටත් මට ඔයත් එක්ක පවුල් කෑමේ වුවමනාවක් නැහැ. දැන් මටත් කලින් අනිවාර්යයෙන් ඔයා ඒ තීරණේ අරන් ඇති. '' ද්වේෂ සහගත ලෙස අතහැරයාම '' හරි '' ලිංගික අකර්මන්යතාව '' හරි වෙන මොන කෙහෙල්මලක් යටතේ හරි මට විරුද්ධව දික්කසාද නඩුවක් දාන්න. දැන් තියන තත්ත්වෙ උඩ මට චුදිතයා මිසක් පැමිණිලිකාරයා වෙන්න බැහැනෙ. ( මේ ලියුමත් ඔයාට වටිනා සාක්ෂියක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ) හොඳ වෙලාවට අපි බබෙක් හදන වැඩේ කල් දැම්මෙ. නැත්තන් අපේ ප්රශ්න වලට අසරණ කිරිසප්පයෙකුටත් වන්දි ගෙවන්න වෙනවා. අපි හිටපු ගේ ගන්න මං ගත්ත ණය තව අවුරුදු බර ගාණක් ගෙවෙන්න තියනවා. ඒක මම කොහොම හරි ගෙවන්නම්. ඒ ගේත් ඔයාගෙ නමට ලියන්නම්. ඔයා තාම හුඟක් තරුණයි. අලුත් ජීවිතයක් පටන් ගන්න තවම පරක්කු නැහැ. එහෙම කියලා මම ඔයාගෙ ජීවිතේට කරපු වැරැද්ද අඩු වෙන්නෙ නැහැ. ඒත් මට කරන්න පුළුවන් එච්චරයි.

මම ඔයාගෙනුයි, ඔයාගෙ දෙමව්පියන්ගෙනුයි සමාව ඉල්ලනවා මගෙන් වෙච්චි මේ දරුණු වැරැද්දට. හැබැයි මේ වෙච්චි දේවල් ගැන මම පසුතැවෙන්නෙ නැහැ. පසුතැවෙන්නෙ මං කසාද බැඳපු එක ගැන විතරයි. දැන් මට ආයි ඔෆිස් යන්න බැහැ. මේවා ලැව් ගිනි වගේ පැතිරිලා ඇති. ගිගුම් නම් තාම ඔෆිස් යනවා. මට බය එයාටත් ඔෆිස් යන්න බැරිවෙයි කියලා. ඉතිං නිමාලි ? මේක මේ ප්රශ්නෙ විසඳන්න තියන හොඳම විදිය නේද?

දැන් මට මහා සැහැල්ලුවක් දැනෙනවා. ගිගුම්ගෙ බෝඩිමෙත් මම වැඩි දවසක් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඇයි මම කාටවත් බරක් වෙන්නෙ ? ගිගුම්ටත් එයාගෙම කියලා ලෝකයක් ඇති. මං එයාට හුඟාක් ආදරෙයි. එයත් මට ආදරෙයි. ඒත් ආදරේ විතරක්ම තිබිලා මදි ජීවත් වෙන්න.

මම ඔයාගෙන් ඉල්ලන ලොකුම උදව්ව දික්කසාදෙ වැඩේ ඉක්මනට කරන්න කියන එක. එහෙනම් මම නවතින්නම්. ඔයාට තෙරුවන් සරණෙන්, දෙවි පිහිටෙන් හොඳ අනාගතයක් ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.

මම ඔයාගෙ විශ්වාසය කැඩු ,

නුවන්

ප. ලි.
දෙමටගොඩ සිරිවර්ධන මහත්තයා දික්කසාද නඩු වලට හොඳයිලු. ගාණත් අඩුයිලු. නඩු කල් දාන්නෙ නැතුව ඉක්මනට ඉවර කරනවලු . පුළුවනි නම් එයාව අල්ල ගන්න බලන්න.

No comments:

Post a Comment