Thursday, March 31, 2011

කළු කුමාරයා


දහවල බෙහෙවින්ම ගිනියම් ය. සුළඟ දූවිලි අවුස්සමින් ඇදී යයි. තාර නොදැමු පාරේ තද කහ පාටට උඩ ඉගිලෙන දුවිලි අවට ගස් කොළන් ද වසා ගෙන ඇත. මවුන්ටන් බයිසිකලයක් පැදගෙන ගිය කොල්ලෙක් යන ගමන්ම නාලනී ටීචර්ට ඇල හිනාවක් හැලුවේය. ඌ කවුදැයි නාලනී ටීචර්ට මතක්වුයේ ටික දුරක් ඉස්සරහට ගිය පසුවයි. ඒ ශිෂ්‍යත්වයට ටියුෂන් ආ නිමල්නෙ. ඌ ලොකු වී ඇති ඉක්මන. ඌට ඉලක්කම් වැඩි කිරීම හා චක්කරය අතර ඇති සම්බන්ධතාවය තේරැම් කිරීමට නාලනී ටීචර්ට කවදාවත්ම පුළුවන් වුයේ නැත. ඌට දොළොස් වරක් වෙනකම් චක්කරය කට පාඩම්ය. ඒත් වැඩි කිරිමේ ගාණක් දුන් විට එය විසඳන්නේ කෙසේදැයි ඌ කවදාවත්ම නාලනී ටීචර්ගෙන් ඉගෙන ගත්තේ නැත.



ඒ දවස්වල නාලනී ටීචර්ගේ හවස් වරුවේ ශිෂ්‍යත්ව පංතියේ ළමයි නාලනී ටීචර්ට නැති තැන කියන්නේ කෙහෙල් ඇවරිය කියායි. ඒ ඇගේ ඉදිරියට නෙරූ දත් වහල්ල නිසයි. දැන් ඒ ශිෂ්‍යත්ව පංතියට ආ කොල්ලො කොල්ලෝ බොහොමයක් අම්මලා තාත්තලාය . නාලනී ටීචර් තවමත් තනිකඩය.

මදටිය ගහ ළඟින් දෙවටෙන් හැරුනු විට නාලනී ටීචර්ලාගේ ගෙදර උළු වහළ පෙනෙයි. එතකොටයි නාලනී ටීචර්ගේ මහන්සිය ඇබින්දක් තුනී වන්නේ. ගෙටවිත් සාරිය මාරු කළ ඈ කෙලින්ම බැස්සේ ගවුමට නොව දිය රෙද්දටමය. දාහය ඒ තරමට දැඩිය. මේස ලාච්චුව ඇර තමාටම වෙන්කරගත් ලක්ස් කෑල්ල ගත් ඇය පිලිකන්නේ පුංචි පනිටිටුව අතට ගත්තාය. එවිටයි ඇගේ අම්මා මිසි නෝනා ඇයව දැක්කේ.

‘ අද මොකද පරක්කු ?’
‘වෙනදා වෙලාවම තමා’

කොරතොට පදිංචි නාලනී ටීචර් උගන්නන්නේ දෙමටගොඩ පැත්තේ ප්‍රාථමික පාසැලකය. බස් තුනක මාරු වෙවී ඇය ගෙදර එන විට අඩුම තරමේ හතර පහුවෙයි. ගෙදර එන විට ඇගේ හොඳ පණ ගොස්ය. ළඟපාත පාසැලකට මාරුවක් හදා ගැනීමට කොතරමි වලි කෑවත් තාමත් එය හරියන පාටක්වත් නැත.

“අද අරහෙන් පණිවිඩයක් ආවා”

මිසි නෝනා එය කීවේ මුණ මලවාගෙනයි.

“කොහෙන්ද ?”
“ මැණිකාගාරෙ කටිටියගෙන්”

අම්මා කියන්නටත් කලින් මැණිකාගාරෙ කටිටියගේ උත්තරය මොකක්දැයි නාලනී ටීචර් අම්මාගේ මුණෙන් දත්තාය.
“ අදහස අත්ඇර ගන්ඩලුද ?”

“ එහෙම්මත් කියලා නෑ ඒ ළමයට වෙන තැනකින් කටයුත්තක් හරි ගිහිල්ලලු , ඒ ළමයා කැමති ඒ ගෑනු ළමයටලු.”

මිසි නෝනා ඇත්ත උත්තරයේ සැර බාල කර කීවාය. නාලනී ටීචර්ට නමි දැන් ඕවා හොඳ හැටි පුරුදුය.

“ ඕකට ඒගොල්ලො හා කිව්වත් මං බෑ කියන්නයි හිටියෙ , ඊක්කා ඒ යකාගෙ කළු, කළු දෑවක්නෙ... අර කුලසිරි මල්ලි ගෙනාපු යෝජනාව හින්දා මං කරබාගෙන හිටියෙ....”

කුලසිරි යනු නාලනී ටීචර්ගේ බාලම නංගීගේ ස්වාමි පුරුෂයායි. මනමාලයා කළු වුවත් නාලනී ටීචර් නමි සුදුය. කොටින්ම සුදුමැලිය .හරියටම කියනවා නමි එය කහ ඟැරඩියෙකුගේ බඳු සුදකි. ඇගේ බාල නංගී කුලසිරි හා පැන ගියේ අක්කා දීග යන පාටක්වත් පේන්නට නොතිබු නිසාය. ඒ දවස් වල නංගී තමන්ට කලින් ඉස්සරවීම ගැන නාලනී ටීචර් බුකවාගෙන හිටියත් ගෙදරින් නංගීට තඹ දොයිත්තක්වත් නොදීම ගැන ඇය සෑහෙන්න කැමති විය.

“ උඹ කෑවද ?”
“ නාගෙන ඇවිත් කනවා . . .”

නාලනී ටීචර් පිළිකන්නේ ළිඳ පහු කලාය. අහසේ ඈතින් තද දමි පාටට හුරු කළු පාට යෝධ වළාකුළු පොකුරක් නලියමින් තිබුණි.

“ හැන්දෑ වෙලා , වැස්සකුත් එනවා . . . . ගෙදර ළිෙඳන් ඇදලා නා ගනින්”
“ ඇද ඇද ඉන්ඩ බෑ පහළ වෙලේ ළිඳට යනවා”
“ කරුවල වැටෙන්ඩ ඉස්සෙල්ලා වරෙන්”

නාලනී ටීචර් ගිය පසු මිසි නෝනා වත්තේ සිට ඇහිදන් ආ හනසු, බූ මටුලු ටික කොහු ලණුවකින් පොඩි මිටියකට බැන්දාය. නාලනී ටීචර්ගැන හිතන විට මිසි නෝනාට ඉබේටම හීල්ලෙයි. ඈ දුවගේ කාමරයට ගොස් සර්ප හැවක් මෙන් ඇඳ උඩ ඔහේ විසිරී තිබු දාඩිය ගඳ සාරිය අකුලා යට සායත්, බොඩියත් ගෙන ඉස්කිරීමේ එල්ලුවාය.

අහසේ කළුව බල බලා නාලනී ටීචර් අඩිය ඉක්මන් කලාය. ඈට මුත්‍රා බරක් දැනුනි. ඈ එය හිර කරගෙන දිව්වාය. මුත්‍රා බර ඉක්මනින්ම දරා සිටීමේ සීමාව ඉක්මවීය. ඈ වට පිට බැලුවාය. කවුරුවත් පේන තෙක්මානයක නැත. නාලනී ටීචර් වෙල අයිනේ දං අකුලක් අසල ඇනතියා ගත්තාය. හිටිගමන් කවුදෝ පාරේ වංගුවෙන් මතු විය. නාලනී ටීචර්ට නැගිට්ටුනි.

මුත්‍රා දිය රෙද්ද පුරාය. ලැජ්ජාවට ඇගේ කනුත් රතු විය. කවුදෝ මිනිහෙක් බර අඩි තබමින් වේගයෙන් එයි. ඔහුගේ උස් කකුල් ඈතින් ඈතින් අඩි තියයි. නාලනී ටීචර් ලාවට පස්ස හැරී ඔහුව අඳුනා ගන්නට බැලුවාය. දෙතුන් විඩයක්ම හැරී බැලු පසු ඒ විල්සන් මුදලාලිගේ පොල් වත්තේ මුර කාරයා බව ඈ හඳුනා ගත්තාය. ඔහු දත් මදිමින් එයි. ටීචර් අඩිය ඉක්මන් කලාය. ඔහුගේ උස කකුල් ඔහුත් නාලනී ටීචත් අතර පරතරය අඩු කළේය.

“මිසී නාන්ඩ වගේ ?

“ ඔව්”

ඔහු නාලනී ටීචර් හා සමාන්තර ගමනකය. නාලනී ටීචර් මුර කාරයාට ඉස්සරවී ඇති වීරියෙන් නොදුවා දිව්වාය. ඔහු කළු ය. කළුම කළු ය. කොටින්ම නාලනී ටීචර්ව බලන්නට ආ මනමාල මහත්තයාටත් වඩා කළුය. අලි තප්පදෝරුය. උසට සරිලන මහතින් යුතුය. පපුවේ මයිල් ගන සැරේට වැවී ඇත. දත් ටික කිරි සුදුය. ඔහු වගේ වගක් නැතිව බෝඹු කෝටුවක් දත් වල උලමින් බර අඩි තබයි. නාලනී ටීචර්ට ලැජ්ජාවක් සමඟ හීන් කිතියක්ද දැනී නොදැනුනි. ඈ හොරෙන් දිය රෙද්දේ පහළ ඇති මුත්‍රා පැල්ලම් දෙස බැලුවාය. දම්පාට වළාකුළු ඇයට ඉහළින් අහසේ විය.

වෙලේ ළිඳ ගැට්ටටම පිරී ඇත. උතුරන වැඩිපුර වතුර පැත්තකින් වෙලට ගලයි. නාලනී ටීචර් ආසාවට හිනා වුනාය. ඈ පුංචි පනිට්ටුවෙන් වතුර ඔළුවට හලා ගත්තාය. වතුරේ හීතල ඇඟ කිලිපොලවන සුළු විය. හනි හනික වතුර පනිට්ටු හත අටක් නා ගත් ඈ වටපිට බැලුවාය. මුර කාරයා උණ පඳුර ළඟ ඇන තියාගෙන දත් මදී. ඔහුගේ ඇස් වෙලේ ඈතකට යොමුවී ඇත.

ඇඟේ ලක්ස් කැටය උල උලා නාලනී ටීචර් පොල් මුඩ්ඩෙන් හොඳ හැටි ඇඟ ඇතිල්ලුවාය. මුර උන්නැහේ නාන්නට පටන් ගත්තේය. තඩි විසාල පනිට්ටුවකින් නෑ ඔහු එයට වතුර පුරවා ඔළුවට වත් කර ගත්තේ පුළුන් කොට්ටයක් උස්සනවාක් මෙන් ලෙහෙසියටයි.

නාලනී ටීචර් සබන් ගා ඉවර වෙනවාත් සමඟම ඔහුත් සබන් ගාන්නට විය. කෙටි ඉණ කඩක් පමණක් ඇඳ සිටි ඔහුගේ රූප කාය නාලනී ටීචර් තුළ මොකක්දෝ අමුත්තක් ඇති කළේය. ඇඟේ සබන් පිටින්ම ඕ මවිතව බලා සිටියේ ඔහු දෙසමය. සබන් උලන විට ඔහුගේ පපුවේ සවිමත් මස් පිඬු නටයි. බාහු විශාලය , ශක්තිමත්ය. කළුවර ළඟ ළඟම එයි. වෙලේ කොක්කු එකා දෙන්නා අහසට ඉගිල්ලෙයි. තද දම් පාට වළාකුළු එක ගුලියට පෙරලෙයි. දං අකුල් උඩ බලා හිඳී. නාලනී ටීචර්ගේ ඇඟම හිරි වැටී ඇත. සීතල වතුර නිසාදෝ ඈට තමා කිටි කිටි ගා වෙව්ලනු දැනුනි.

“මිසී නාලා ඉවරද ?”
“නෑ”

ඇඟේ සබන් පිටින් ඉන්නා තමන්ගෙන් මුර උන්නැහේ ඇසු ප්‍රශ්නයේ තේරුම නාලනී ටීචර් කල්පනා කලාය. ඉක්මනින් නා ගත යුතුය. එහෙත් ඔහුගේ සිරුරෙන් ඇස් ඉවතට ඇද ගන්නටම බැරිය. මොකක්දෝ අමුත්තක් සිදුවෙයි. අහසේ ලොකු විදුලියක් කෙටුවේය. මහ හඬින් ගෙරෙව්වේය. නාලනී ටීචර් එක පාරටම පැන මුර උන්නැහේ බදා ගත්තාය. ඒ සිරුරෙන් ගින්දරක් වැනි උණුසුමක් කාන්දු වෙනු ඇයට දැනුනි. ඒ ඉක්මනටම ඔහුව අතහැරිය ඇය පුදුමයෙන් ඒ ලොකු කළු ඇස් වලට එබුනාය. ඒ ඇස් සුවිශාලය, තෙත බරිතය,

“මිසී මිසී?”
“මිසී ට මොකද වුණේ ?”

ඇස් ලොකු කර නැවතත් ඔහු දෙස බැලූ නාලනී ටීචර් සබන් පිටින්ම දුවන්නට වුවාය. ළිං පඩියේ දිය සෙවළට ඇය ලිස්සා නොවැටුනේ අනූනමයෙනි. ඇගේ කකුලක වැදී පුංචි පනිට්ටුව පෙරලුනි. පනිට්ටුව, පොල් මුඩ්ඩ, ලක්ස් කැටය ළිඳ ළඟය. මුර කාරයා කරන්නේ කුමක්දැයි නොදැන කට ඇරගෙනය. නාලනී ටීචර් දෙවට දිගේ පිම්මේය. දම් පාට වළාකුළු පුපුරා විසල් වැහි බිඳු බිමට වැටෙයි. වැහි වතුරට පොළොවෙන් සියුම් දුමාරයක් නගී. අමුතු නවමු පුසුඹකින් ද පරිසරය පිරී ඇත. දූවිලි තට්ටු හේදී ගිය මඟ දෙපස ගහ කොළ අමුතු කොළ පාටකින් දිලිසෙයි. මඩ පාට හීන් දිය පාරවල් දෙවට දිගේ නයි මෙන් බඩ ගායි. නාලනී ටීචර් මේ මොකවත්ම දුටුවේ නැත. ඈ අඩියට දෙකට ගෙදරය. පිළිකන්නේ පහළ පඩියේ වාඩි වූ ඈ සන්නියක් වැළඳි තැනැත්තියක් මෙන් වෙවුලයි. ඇගේ ඇඟ පුරා සබන්ය. කඩා පිටට හෙලා ඇති කෙස්සෙන් දිය බිංඳු වෑහෙයි. රෑ බතට කුස්සියේ පොල් ගාමින් සිටි මිසි නෝනා සද්දයට පිළිකන්නට දිව ආවාය. නාලනී ටීචර්ගේ ඇස් මදටියා ඇට මෙන් රතුම රතුය. මිසි නෝනාගේ ඇස් භීතිය නිසා එළියට පනින්නට ඔන්න මෙන්නය. ඈ නාලනී ටීචර්ගේ නලලට අත තියා බැලුවාය. ඇඟෙන් වතුර බිංඳු බේරුනත් නළල ගිනි කබලක් මෙන් උනුසුම්ය.

“ මොකද මොකද ?”

කලබලයට මිසි නෝනාගේ කටට වචන උනන්නේ නැත. නාලනී ටීචර් ඔහේ මිසි නෝනාගේ සුද බැඳුනු ඇස් දෙස බලා සිටියාය.

“ ඇයි රත්තරනේ මේ සබන් පිටින් ?”

නාලනී ටීචර් නයි පිඹින්නාක් මෙන් මහ හයියෙන් සුස්මයි. ඇගේ කෘෂ පපුව සිරුරට ඔරොත්තු නොදෙන තරම් වේගයෙන් ඉහල පහළ යයි.

“ මොකක්ද වුනේ කියලා කට ඇරලා කියපන්කො රත්තරනේ ?”

මිසි නෝනාගේ හඬ හැඟුම් බරය. සිංහල උළු වහළයෙන් වැටෙන වැහි වතුරෙන් මිසි නෝනා බාගෙට තෙමී ඇත.

“ මං දැක්කා , මං දැක්කා , මං දැක්කා අම්මෙ”

නාලනී ටීචර් උගුර යටින් එන ඇඟ කීරි ගස්සන හඬකින් මොර දෙයි.
“ මොකාද ? මොකාද ?”
“කළුම කළුයි, උසම උසයි, ඔව් උසම උසයි”
“ඈං”
“ඔව් පොල් ගහක් විතර, අනේ මට බයයි අම්මෙ”

දැන්නමි මිසි නෝනාගේ ඇස් එළියේය. සුද බැඳුනු ඇගේ විසල් ඇස් විරූපීය.

“කිරි අප්පේ කළු කුමාර දේවතාවුංනාන්සෙ”
“මං උඹට කට කැඩෙනකං කී දවසක් කියලා තියනවද ගොම්මනේ තනියෙං වෙල් අස්සෙ යන්න එපා කියලා”

මිසි නෝනාගේ හඬ හොඳටම හැඟුම් බරය. අනතුරුව ඈ අල්ලපු වත්තේ හාමිනාට බෙරිහන් දුන්නාය.

“හාමිනෝ මෙහෙ වරේර්ං, බලහං වෙලා තියන නස්පැත්තියක්”

නාලනී ටීචර් වැස්ස හලා ඉස්පාසු වන අහස දෙස ඔහේ හිස් බැල්මෙන් බලා සිටියාය.


Isuru Chamara Somaweera | ඉසුරු චාමර සෝමවීර

2 comments: